Monday, May 6, 2024

General line - 0115112241

අනවශ්‍ය කතා එපා : ට්‍රම්ප් අවසන් මොහොතේදී අනතුරු අඟවයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලබන ජුලි මාසයේදී උතුරු කොරියාවේ සමුළුවකට සහභාගිවන මෙන් ඇරයුම් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇරයුම් කර ලිපියක් යවා ඇති බව වාර්තා වනවා.

මිට සති දෙකකට පමණ ඉහතදී අමෙරිකාවේ වොෂින්ටන් හි සංචාරයක නියැලුණු උතුරු කොරියානු නායකයාගේ විශ්වාසවන්තම නිලධාරියා මෙන්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි කිම් යොංග් චොල් විසින් ධවල මන්දිරයේදී සිය නායකයා ගේ ඇරයුම් පත පෞද්ගලිකවම අමෙරිකානු ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

හෙට (12) දිනයේදී සිංගප්පුරුවේ පැවැත් වීමට නියමිත පළමු සාකච්ජා වාරය සාර්ථක වුවහොත් දෙවන වටයේ සාකච්ජා වටය උතුරු කොරියානු අගනුවර දී ලබන ජුලි මාසයේදී පැවැත් වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම තෙවන සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් හිදී ලබන සැප්තැම්බර් මස පැවැත් වෙනු ඇති බවයි දැනට වාර්තා වන්නේ.

මේ අතර උතුරු කොරියානු සාකච්ජා සඳහා අවසන් තීරණය ගැනුනේ මිට දින 12 කට පමණ ඉහතදී වන අතර ඉන් පසුව සිය කාර්ය මණ්ඩලය සහ රජයේ ඉහළ පෙලේ තනතුරු දරන සියලුම නිලයන් කැඳවූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවවාදාත්මක දැනුම් දීමක් සිදුකර ඇති අතර, එහිදී ඔහු කියා ඇත්තේ උතුරු කොරියාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමට වගබලා ගන්නා ලෙසයි. 

එමෙන්ම උතුරු කොරියානු සමුළුව අතර වාරයේදී එරට නියෝජනය කරමින් පැමිණෙන රාජතාන්ත්‍රිකයින් සමගද අනවශ්‍ය කතා බස් ඇතිකර නොගන්නා මෙන් උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු අමෙරිකානු දුත මණ්ඩලයට ට්‍රම්ප් අවවාද කර තිබෙනවා.