Friday, December 27, 2024

General line - 0115112241

හිට්ලර් ගැන කළ ප‍්‍රකාශය පිළිබඳ අස්ගිරි අනුනාහිමියන්ගෙන් නිවේදනයක්

කමල් සුරවීර




තමන් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන ප‍්‍රකාශයක් කළායැයි රටේ ප‍්‍රධාන දේශපාලන නායකයින් විසින් මත ඉදිරිපත් කිරීම පිළිබඳ කණගාටු වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ශාස්ත‍්‍රපති පුජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන් වහන්සේ පවසන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඉකුත් දා පැවැති ජන්ම දිනය වෙනුවෙන් පැවැති දානමය පිංකමේදී තමන් විසින් සිදු කළ ධර්ම දේශනයට ඇතුලත්වූ හිට්ලර්, මිලිටරි යන වචන පමණක් ගෙන දේශනයේ සමස්ථ අර්ථ දැක්වීම විකෘති කර ඇති බවයි. 

සිය දේශනයේ එක් වචනයක් පමණක් ගෙන සිදු කරන මෙම ප‍්‍රකාශයන් අන්ධයෙකු ඇතාගේ වලිගය අතගා ඇතා කොස්සක් වැනියැයි කීවාක් මෙන් සමාන බවයි උන් වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඇතැමුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වා ඇති බවත් එසේ හෝ රට සංවර්ධන කර දෙන ලෙස තමන් එහිදි මතක් කළ බවයි අස්ගිරි අනුනාහිමියන් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ. 

මෙම ප‍්‍රකාශයේ වචනාර්ථය පමණක් ගෙන තම දේශපාලන මත ඉදිරිපත් කිරිමක් සිදු කරමින් පවතිනවා. නමුත් රටක් පාලනයේදී ඍජු ප‍්‍රතිපත්ති තිබිය යුතු බව තමන් ඉන් ප‍්‍රකාශ කළා මිස හිට්ලර් සේ මිනිසුන් ඝාතනය කරමින් ම්ලේච්ඡ පාලනයක් සිදු කළ යුතු බව අදහස් නොකළ බවයි උන්වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. 

තම තමනගේ දේශපාලන මතවලට අනුව තමන් වහන්සේ සිදු කළ ප‍්‍රකාශය අර්ථ ගැන්වීම තවදුරටත් නොකළ යුතු වරදක් බවද උන්වහන්සේ එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙම දානමය පිංකමේදී දේශපාලන නායකයින් පිරිසක් සිටි බැවින් ඔවුන්ට ගැලපෙන දහමක් දේශනා කළා මිස පක්ෂග‍්‍රාහී දේශපාලන කතා සිදු නොකළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

දේශපාලකයන්ට අනුශාසනා කිරීම භික්ෂූන් වහන්සේලාගේ කාර්යය භාර්යයක්. ඊට පක්ෂ විපක්ෂ භේදයක් නොමැති බවත්, බුදුරජාණන් වහන්සේ කොසොල් රජුටත්, බිම්බිසාර රජුට සහ ලිච්ඡුවීන්ටත් විරුද්ධ පාර්ශව දෙකක් වු ශාක්‍ය හා කෝලිය වංශිකයන්ටත් එකසේ අනුශාසනා කළ බවයි උන්වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

අපටද අවශ්‍යව ඇත්තේ පක්ෂ භේදයක් නොව දේශපාලකයන් නිසි මගට යැවීම බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. තම දේශපාලන මත, කරපින්නා ගත් ධර්මය අධර්මය ලෙස දක්වමින් මාධ්‍ය නිදහස වැරදිලෙස භාවිතා කරමින් අන්තර්ජාල, කැලෑපත්තර ප‍්‍රසිද්ධ මාධ්‍යවල ප‍්‍රචාරය කරමින් සිදු කරන අසත්‍ය ප‍්‍රකාශ සංවේගයෙන් යුතුව හෙළා දකින බවයි උන්වහන්සේ පවසන්නේ. රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා පවා සත්‍ය තේරුම් නොගෙන මෙසේ ප‍්‍රකාශ නිකුත් කිරීම කෙතරම් යුක්ති සහගත ද යළිත් සිතා බැලිය යුතුයි. 

රටේ ඇතිවන විවිධ ප‍්‍රශ්ණ අමතක කරවීමට හෝ විවිධ සිද්ධීන් යටපත් කිරීමට මෙන්ම පුවත් මැවීම ජනතාව නොමග යැවීමක්  බවද අස්ගිරි පාර්ශවයේ අනුනායක ශාස්ත‍්‍රපති පුජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සියලූ දේශපාලකයන් රට වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට කටයුතු කළ යුතු බව තමන් යළි සිහිපත් කරන බව ද අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ද අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමියන් සිදු කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. ඒ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින්.

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.