Friday, December 27, 2024

General line - 0115112241

පොලිස්පතිවරයා මාතර සංචාරයක : දිවිපිදු පොලිස් රණවිරුවාගේ නිවසටත් යයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පසුගියදා මාතර දී සිදුවූ ස්වර්ණාභරණ මංකොල්ලය වැළැක්වීමට සිදුකල මෙහෙයුමේදී කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මියගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ නිවසට පොලිස්පති පුජිත් ජයසුන්දර අද (26) පැමිණියා. ඒ දිවිපිදු පොලිස් රණවිරුවා වෙනුවෙන් වන්දි මුදල් ප්‍රධානය කිරීමට සහ සිය කණගාටුව ප්‍රකාශ කිරීමටයි.

එහිදී පොලිස්පතිවරයා විසින් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳට රුපියල් මිලියන 2.5 ක වන්දි මුදලක් පිරිනමනු ලැබුවා. ඒ පොලිස්පති තෑගි අරමුදලින් රුපියල් මිලියන 1.5 ක්, අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 1 ක මුදලක් සහ පොලිස් සේවා වනිතා ඒකකයෙන් රු. 60,000/- ක මුදලක් පිරිනැමූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේ.

එයට අමතරව මංකොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් සහ සිවිල් වැසියන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කල සිවිල් වැසියන් 05 දෙනෙකුටද මාතර පොලිස් අධිකාරි කාර්යාලයේදී පොලිස්පතිවරයා විසින් රු. 50,000/= බැගින් තෑගි මුදල් ප්‍රධානය කළා.

වෙඩි හුවමාරුවේදී තුවාල ලබා දැනට මාතර සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් නිලධාරින්ගේ සහ සිවිල් වැසියන්ගේ සුවදුක් විමසු පොලිස්පතිවරයා දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරින් සමග සාකච්ජාවක්ද පැවැත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවති එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානි සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් බැහැරව සිටි පොලිස්පතිවරයා අද උදැසන යලි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම සංචාරයේ නිරත වුනා.