Friday, December 27, 2024

General line - 0115112241

රුහුණු පොසොන් මහ පෙරහැර අද රාත්‍රියේ (UPDATE)




විචිත‍්‍රවත් කලා සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත රුහුණු පොසොන් මහ පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් තිබෙනවා. පෙරහැරේ විචිත‍්‍රත්වය සියැසින් දැක ගැනීමේ අරමුණින් දිවයිනේ නන්දෙසින් පැමිණ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මේ වනවිටත් ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පුදබිමට පැමිණ අවසන්.

උඩරට, පහතරට සහ සබරගමු නර්තනාංගයන්ගෙන් සමන්විත රුහුණේ පොසොන් මහ පෙරහැර අද (27) රාත‍්‍රියේ වීථී සංචාරය කරන්නේ අලි ඇතුන් ද පෙරටුකර ගෙනයි. ධාතු මන්දිරයේ සිදු කෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව සධාතුක කරඬුව පිටතට වැඩමවීම සිදු කෙරෙනවා. පෙරහැර ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.

රාත‍්‍රී 09න් පසු පෙරහැර විචිත‍්‍රත්වය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කිරීමට ද සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. 

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ අවසන් දිනය වන අද දිනයේ ද ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණියා. 

පොසොන් පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වුණේ ද තිස්සමහාරාම පුදබිමේදීයි.

---------------------------------------

පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි - 'ශ්වේත පූජා' ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී

27-06-2018 05:55

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජන සමාජය, සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වී තිබෙනවා.

මහා මහින්ද මහරහතන් වහන්සේ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ලක්දිවට වැඩම කරනු ලැබුයේ ද, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවූයේ අද වැනි පින්බර පොහොය දිනක දීයි.

එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙමින් ආගමික වතාවත්වල නිරතවෙනවා.

සම්බුදු දහමේ පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කළ ඒ අසිරිමත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ක්‍රමානුකූල ධර්ම ප්‍රචාරය මෙරට බුදුසමය මුල්බැසගැනීමට බෙහෙවින් ඉවහල් වුණා.

පොසොන් පෝය නිමිත්නේ විශේෂයෙන් අනුරාධපුරයේ මෙන්ම මුළු රටේම සහ ලෝකයේම බෞද්ධ ආගමික ස්ථාන කේද්‍ර කරගනිමින් මෙවරත් සීල, සමාධි, භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.

මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදීයි.

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ද තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. 

(ශ්වේත පූජා වැඩසටහනේ ඡායාරූප පහතින් දැක්වෙයි)