Friday, January 10, 2025

General line - 0115112241

කොළඹ මීගමුව කඳාන ආදී ප්‍රදේශවලදී ජනතාව රැවටූ හොර දොස්තරට වැඩ වරදියි




වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල ජනතාව රවටා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනිකව ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් රවටා නිත්‍යානුකූලව විවාහ කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ලද පැමිණිළි කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිටකොටුව බස් නැවතුම්පළ අසළ හෝටලයක නැවතී සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වැලිකැටිය, පමුණුගම ප්‍රදේශයේ පදිංචි ජයමහමුදලිගේ දොන් ජෝශප් ශ්‍රේෂන් සරන ප්‍රදීප් යන අයයි. සැකකරු සන්තකයේ තිබී වෙද නලාවක් හා පෙෂර් පරීක්ෂා කිරීමට යොදා ගන්නා උපකරණයක්ද සොයා ගැනුනා.

සැකකරු වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටිමින් ප්‍රදේශවාසීන්ගෙන් මුදල් ණයට ලබාගෙන කැෂිනෝ ක්‍රීඩාවේ යෙදී ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.