Friday, January 10, 2025

General line - 0115112241

අලි දෙදෙනා කොටු කිරීමේ සැලසුමකින් සිංහරාජය ගැන යළි කතා බහක්

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




දැඩි කතාබහට ලක්වූ සිංහරාජ වනාන්තරයේ සිටින අලි දෙදෙනා වනාන්තරය තුළම තෝරාගත් ප‍්‍රදේශයකට කොටු කිරීමට ගෙන ඇති තීරණයට පරිසර සංවිධාන විරෝධය පළ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙමගින් එම වනඅලින්ගේ සාම්ප‍්‍රදායික ජීවන රටාවට දැඩි බලපෑමක් එල්ල වන බවයි. එම නිසා එය සාර්ථක ක‍්‍රමයක් නොවන බව පරිසරවේදී සුපුන් ජයවීර නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මෙම වනඅලි දෙදෙනා වනාන්තරයේ එක් ප‍්‍රදේශයකට කොටු කිරීමේ තීරණය පිළිබඳ නෙත් නිවුස් වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් විමසීමක් කළා.

එහිදී, මෙම අලි දෙදෙනා වැඩියෙන්ම සිටින ස්ථානය මෙලෙස තෝරාගෙන ඇති බවත් මෙම ස්ථානය මෙම අලි දෙදෙනාට සුදුසුම ස්ථානය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. අලි දෙදෙනා මෙන්ම මිනිසුන්ගේ ජීවිත ගැනත් තමන් වගකිවයුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් පරිසරවේදී සුපුන් ජයවීර පවසන්නේ වනඅලින් දෙදෙනාත් ආරක්ෂා කර ගනිමින් ගැටළුවලට විසඳුම් ලබාදීමට වෙනත් ක‍්‍රමවේද ඇති බවයි. 

එහිදී. "සම්පූර්ණ කලාපයම ආවරණය වෙන ආකාරයේ වැඩපිළිවෙලක් සැකසීම සිදු කළ යුතුයි. මෙහි ඇත්තේ ගැටලුව දෙපැත්තට පාස් කිරීමක්. සිංහරාජය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ..නමුත් අලි භාරව කටයුතු කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුව.. මේ ගැටලුවට විසඳුමක් හොයා ගෙන කතා කළානම් ප්‍රශ්නේ සාර්ථකව විසඳෙයි." යනුවෙන් සඳහන් කළා.

එම යෝජනා සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළා.  ඊට ප‍්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ "2010 ඉඳළා 2017 වෙනකොට මේ රටේ සද්ධන්ත අලි 1992ක් මැරිලා. බඳින තුවක්කු, හක්කපටස් නිසා අලින්ගෙ ජීවිත අනතුරේ තියෙන්නේ. එහෙනම් ගමක් ගමක් ගානේ පොලිසිය දාලා තුවක්කු බඳින..හක්කපටස් දාන අය අල්ලන්න ඕනේ.. අලි නිසා මිනිස්සු 532කුත් මැරිලා තියෙනවා." යනුවෙනි. 

සිංහරාජයේ සිටින දුර්ලභ වන අලි දෙදෙනා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට රැගෙන යාමට මීට පෙර තීරණය කෙරුණා. ඒ සඳහා මෙහෙයුමක් ද ආරම්භ කළ නමුත් එය ආරම්භක අවස්ථාවේදීම නතර කර දැමීමට සිදු වුණා.