Sunday, December 22, 2024

General line - 0115112241

අධ්‍යාපන සේවයට සම්බන්ධ වෘත්තීය සමිති 12ක සාමාජිකයින් අද අසනීප වෙයි

තරංග රුක්ෂාන්/ නිශාන් ද සිල්වා




අධ්‍යාපන සේවයට සම්බන්ධ ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති 12ක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද (04) වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන සේවාවන්ට දේශපාලන පළිගැනීම් පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමින්. මෙම වැඩවර්ජනය සඳහා ගුරු සංගම්, විදුහල්පති සංගම් සහ අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිද එක්ව සිටිනවා. මේ හේතුවෙන් පාසල් පැවැත්වීම ගැටලූ සහගත විය හැකි බවයි අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පවසන්නේ.

විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් පේ‍්‍රමතිලක සඳහන් කළේ උසස්වීම්වලට විවිධ බාධා කිරීම් සිදුව ඇති විදුහල්පතිවරුන් විශාල පිරිසක් මේ වන විට සිටින බවයි. 

වර්ජනයට එක්වන පිරිස් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උප සභාපති නීල් අතුකෝරළ පැහැදිළි කරමින් සඳහන් කළේ අදාළ පණිවුඩය බලධාරීන්ට ලබාදීම සඳහා අද (04) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණෙන බවයි.

කෙසේ වෙතත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පවසන්නේ තමන්ට මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බවයි. අද මෙම ක්ෂේත්‍රයේ එකම සුදුසුකම දේශපාලනය කිරීම බවට පත්ව ඇති බවත් සඳහන් කළා.

අද පැවැත්වන වැඩ වර්ජනයට වෘත්තීය සමිති කිහිපයක් සහයෝගය ලබා නොදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. එහි වෘත්තීය සමිති සහකාර ලේකම් පි‍්‍රයන්ත පත්බේරිය කියා සිටියේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන ලබා දී ඇත්තේ අධ්‍යාපන පද්ධතියේ සියලූ සේවා ව්‍යවස්ථාවන්ට කිසිඳු අගතියක් නොවන පරිදි බවයි. 

කෙසේවෙතත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අද වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවද්දී, පාසල් පැවැත්වීමට බලපෑමක් එල්ල නොවේදැයි නෙත් නිවුස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ පාසල් පැවැත්වීම සඳහා කටයුතු කරන බවයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද එය තහවුරු කළා. දරුවන් පාසල් වෙත එවන ලෙසත්, පාසල් වැසීමක් කිසිසේත්ම සිදු නොවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.