Monday, April 29, 2024

General line - 0115112241

දුම්රිය සමිති කිහිපයක් මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසිලා

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඊට එක්ව සිටින්නේ දුම්රිය තාක්ෂණික ශිල්පීන්.

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවයි දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳ නෙත් නිවුස් එම සංගමයේ ප‍්‍රධාක ලේකම් කමල් පීරිස්ගෙන් විමසීමක් කළා. එහිදී සඳහන් කෙරුණේ "මේ වන විටත් දුම්රිය ප්‍රමාදවීම් අවලංගුවීම් සිදු වෙමින් තිබෙනවා. කෙසේවෙතත් එකවර දුම්රිය ධාවනය අඩාල වන්නේ නෑ. නමුත් අපි දුම්රියක් ධාවනාගාරයක් තුළදී නඩත්තු කරලා දුන්නට පස්සේ තමයි ධාවන කෙරෙන්නේ.  ඒ නිසා අපේ ක්‍රියාමාර්ගය තුළ යම් ප්‍රමාදයන් අවලංගුවීම් සිදු වේවි." යනුවෙනි.

මේ වනවිට කි‍්‍රයාත්මක කර ඇති සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී එය දැඩි කිරීමට සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් කිසිඳු මගියෙකුට අපහසුතාවක් ඇති විමට ඉඩ නොතබන බවයි. 

දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ ඉල්ලීම්වලට ලබා දිය හැකි සෑම විසඳුමක්ම ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් හා වෘත්තීය සමිති අතර සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබෙනවා. එහිදී විසඳුම් ඉදිරිපත් කළ ද දුම්රිය තාක්ෂණික ශිල්පීන් ඉන් සෑහීමකට පත් නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර ඊයේ (22) පස්වරුවේ සිට අඩාල වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථාතත්ත්වයට පත් කර තිබෙනවා. බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ මගී ප‍්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැනීමකට ලක්වීමෙනුයි මෙලෙස දුම්රිය ධාවනය අඩාළ වුණේ.