Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිම 193 යි - මැතිව්ස් වාර්තා පොතට (UPDATE)

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුළු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේදී අද (29) පෙරවරුවේ ආරම්භ වුණා. 

තරගයේ කායියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 03  ක් අවසානයේ සියල්ලන් දැවී  ලබා ගත්තේ ලකුණු 193ක් පමණයි. 

ශී‍්‍ර ලංකා ඉනිමේ මුල් කඩුලූ 05 බිඳ වැටුනේ ලකුණු 36ක් තුළයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 02කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 03ට දැවී ගියා. 

උපුල් තරංග දුවද්දී දැවී ගියේ ලකුණු 10ක් ලබා සිටියදීයි. නායක ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 05ක් පමණයි. ෂෙහාන් ජයසූරිය ලකුණු නොලබා දැවී ගියා. 

අනතුරුව පිටියේ එක්වූ කුසල් ජනිත් සහ තිසර පෙරේරා 06වෙනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩ නැගුවේ පන්දු 55ක් තුළයි. වේගවත් ඉනිමක් කි‍්‍රඩා කළ තිසර පෙරේරා පන්දු 30කදී ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුණා. 
ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු  81ක්  ලබා සිටියදී දැවී ගියා.  ඔහු අද වාර්තා කළේ සිය එක්දින කි‍්‍රකට් දිවියේ 10වන අර්ධ ශතකයයි. 

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන සියවන එක්දින කි‍්‍රකට් තරගයද මෙය වනවා. ඒ අනුව එක්දින තරග 100කට නායකත්වය ලබා දුන් සිව්වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයා ලෙස මැතිව්ස් අද (29) වාර්තා පොතටද එක්වුණා.

මීට පෙර ශි‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 100ක් සඳහා නායකත්වය ලබා දී තිබුණේ අර්ජුණ රණතුංග, සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන පමණයි.
 

----------------------------

පළමු පන්දුවාරයේදීම පළමු කඩුල්ල බිඳ වැටේ (UPDATE)

(29-07-2018 10:10)

 

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල බිඳ වැටී තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල එලෙස දැවී ගියා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 04ක් ලබා සිටිනවා.

කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන අයුරු දැක ගන්නට පුළුවන්.

 

--------------------------------

කාසියේ වාසිය ලංකාවට (UPDATE)

29-07-2018 09:40

 

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) පැවැත්වෙනවා.

පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. 

 

-----------------------------

පළමු එක්දින ගැටුම අද දඹුල්ලේදී - දෙරටේ එක්දින ඉතිහාසය මෙන්න

(29-07-2018 06:02)

 

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) පැවැත්වෙනවා. 

ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදෑසන 9.45ට ආරම්භ වනවා.

දෙරට අතර එක්දින ඉතිහාසයේ වැඩි වාසි දකුණු අප්‍රිකාවට..

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම තරගාවලි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ දකුණු අප්‍රිකාවයි. 

මේ දක්වා දෙරට අතර පැවති එක්දින තරගාවලි 8න් තරගාවලි 5ක ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා. 

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කර ඇත්තේ එක්දින තරගාවලි 2ක් පමණයි. 1993 වසරේ දෙරට අතර පැවති පළමු එක්දින තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේ 2013 වසරේදීයි. 
මෙරට පැවති එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 4 ට එකක් ලෙස ජය ගත්තා.

සංගා සහ පොලොක් තවමත් ඉදිරියෙන්.. 

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 66ක්. ඉන් එක්දින තරග 35ක් ජය ගනිමින්  දකුණු අප්‍රිකාව වැඩි තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබෙනවා.  ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ එක්දින තරග 29ක් පමණයි. 

දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කුමාර් සංගක්කාර වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එම සංඛ්‍යාව 1789ක්. දෙරට අතර වැඩිම එක්දින කඩුලු ලාභීන් අතර ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෂෝන් පොලොක්. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින කඩුලු 51ක් බිද හෙලා තිබෙනවා.

දඹුල්ලේ සහභාගි වූ අවසන් එක්දින තරග 5 ශ්‍රී ලංකාව පරාදයි.. 

අද තරගය පැවැත්වෙන රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 41කට ක්‍රීඩා කර තිබෙනවා.  ඉන් ශ්‍රී ලංකාව ජය ගත් තරග සංඛ්‍යාව 25ක්. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 14ක් පරාජයට පත්ව තිබෙනවා. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ක්‍රීඩාංගණයේදී එක්දින තරග දෙකක් පවත්වා ඇති අතර එම තරග දෙකම ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක්. 

2014න් පසු රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී එක්දින තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී  ලංකා කණ්ඩායම සමත්කම් දැක්වීමට අසමත්වීමද කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එම ක්‍රීඩාංගණයේ සහභාගී වූ එක්දින තරග 5ම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 3 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එම සටහනේ පසුවන්නේ 8 වන ස්ථානයේයි.