Sunday, May 5, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව පහසු ජයක් ලබයි (UPDATE)




ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා. 

දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 244ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. 

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවනවා.

දෙරට අතර තුන්වන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

----------------------------------

දකුණු අප්‍රිකාව ආරම්භය ශක්තිමත් කරගනී (UPDATE)

(01-08-2018 19:32)

 

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය රන්ගිරි දඹුළු ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 79 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 69 ක් රැස් කළා. 

දික්වැල්ල මෙලෙස අර්ධ ශතකයක් රැස් කළේ ඉකුත් අගෝස්තු මාසයේ ඉන්දියාවට එරෙහිව දඹුල්ලේ පැවති එක්දින තරගයෙන් පසු ප‍්‍රථම වරටවීම විශේෂත්වයක්.

එමෙන්ම නායකයෙකු ලෙස එක්දින ලකුණු තුන්දහසක් රැස්කළ සිව්වන ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කි‍්‍රඩකයා බවට පත්වීමටද ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.

මීට පෙර එම කඩඉම පසුකර ගොස් සිටියේ අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන පමණයි.

පන්දු යැවීමේදී දකුණු අපි‍්‍රකාවේ Lungi Ngidi ලකුණු 50 ට කඩුළු 03 ක් බිද හෙළුවා.

ලකුණු 245 ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 67 ක් රැස්කර ගෙන සිටිනවා.                
 

---------------------------------

කාසියේ වාසිය ලංකාව දිනයි

(01-08-2018 14:16)

 

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය දඹුල්ලේ දී අද (01) පැවැත්වෙනවා.

දිවා රාත‍්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 02.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද දින දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිත එක්දින වරම් දිනා ගත්තා.  

දෙරට අතර පැවති පළමු එක්දින ක‍්‍රිකට් තරගය දකුණු අප‍්‍රිකාව ජය ගත්තේ කඩුලූ 05කින්. පළමු තරගයේ පැවති අඩුපාඩු නිවැරදි කර ගනිමින් අද තරගය ජයග‍්‍රහණය කිරීම කණ්ඩායමේ අපේක්ෂාව බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.