Saturday, May 4, 2024

General line - 0115112241

එකඟතා මත කාන්තා රැඳවියන් සටන නවතයි

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ක‍්‍රියාත්මක කළ විරෝධතාව ඊයේ (14) රාත‍්‍රියේ අවසන් කෙරුණා. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සමග බන්ධනාගාර මූලස්ථානයේදී ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන් 05 දෙනෙකු ද එම සාකච්ඡාවට කැඳවා තිබූ බවයි වාර්තා වුණේ. 

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩු කඩිනම් කිරීම ඔවුන්ගේ ප‍්‍රධානතම ඉල්ලීමයි. ඒ පිළිබඳ ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. සාකච්ඡාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බවට එහිදී අදාළ නිලධාරීන් දැනුම් දීමත් සමග විරෝධතාව අවසන් කිරීමට කාන්තා රැඳවියන් තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූයේ ඉකුත් සඳුදා පෙරවරුවේ සිටයි. 

විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන්ට ඊයේ දිනයේ ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් පිටත සිට කෑම පාර්සල් 04ක් දමා තිබෙනවා. එම කෑම පාර්සල් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.