Monday, January 27, 2025

General line - 0115112241

විනෝද චාරිකා ගොස් දඩමස් සොයා යන මිනිසුන් වෙනුවෙන් බිළි වූ ගැබ්බර මුවදෙන (PHOTO)

සනත් ගමගේ




දඩ මස් කෑමේ ගිජුකමින් වනයේ කුඩා දිය කඩිතිවලට වස මුසු කිරීමේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මුව දෙනක් සහ ඇයගේ කුස තුළ සිටි මුව පැටවා මෙලෙස මියගොස් සිටියදී වනජීවි නිලධාරීන්ට හමු වී තිබෙනවා.

මෙම සංවේදී සිද්ධිය හම්බන්තොට ගොන්නොරුව පන්වැව ප්‍රදේශයේ ලඳු කැළැවක සිදුව තිබූ බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජයකුමාර කියා සිටියේ.

මෙම ගැබ්බර මුව දෙන දැකීමෙන් පසු කුස තුළ සිටි පැටවා පිළිබඳ සෝදිසි කිරීම සඳහා වනජීවි නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පැටවාද මිය ගොස් තිබූ බවයි පැවසෙන්නේ.

පන්වැව අවට කැළයේ මිට පෙරද තවත් වන සතුන් මෙලෙස තැන තැන මිය ගොස් සිටියදී හමු වු බවද ජේ.ඒ.පී. විජයකුමාර සඳහන් කළා.

විවිධ ප්‍රදේශවල සිට විනෝද චාරිකා පැමිණෙන පිරිස් සොයා යන දඩ මස් ලැබෙන්නේ මේ ආකාරයේ විනාශයන් සොබා දහමට අත්කර දෙමින් බව අමතක නොකළ යුතු බවයි වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ.