Thursday, January 16, 2025

General line - 0115112241

මුස්ලිම් දේශපාලඥයින් අතට ගිය කොටි ආයුධ ගැන රජය නිහඩයි - මොහොමඩ් මුසම්මිල්

සජිත් තිලකරත්න




එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබූ අවි ආයුධ තොගයක් මෙරට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතට පත්වී ඇතැයි ඉකුත්දා පළ වු වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මේ බව ප‍්‍රකාශ කළා. 

එල්ටිටිඊ සංවිධානය සතුව තිබු අවි ආයුධ වලින් කොටසක් රිෂාඩ් බදුර්දීන් සහ හිස්බුල්ලා ඇතුළු දේශපාලඥන් පිරිසක් සතුව තිබෙන බවට පසුගියදා පලවූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක විය යුතුයි. එම තොරතුරු මාධ්‍යට ලබාදුන් පුද්ගලයින් ගෙන්වා ඔවුන්ගෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන මේ ගැන කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ රැකවරණය ලබන මෙම දේශපාලඥයින් සම්බන්ධයෙන්  මේ දක්වා පියවරක් නොගන්නේ මන්ද යනුවෙන් මොහොමඩ් මුසම්මිල් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් විමසා සිටියා.

ප‍්‍රකාශ වූ කරුණුවලට අනුව ආයුධ පන්දහසකට වැඩි ප‍්‍රමාණයක් දේශපාලඥයින් අතට පත්ව ඇතැයි ද ඔහු මෙහිදී සඳහන් කළා. එය ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.