තිරිගු පිටි මිල අඩු කළද පාන් හෝ සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිගු පිටි මිල කිලෝ ග‍්‍රෑම් 01ක් රුපියල් 05කින් වැඩි කිරීමටයි ආනයන සමාගම් ඉකුත්දා තීරණය කළේ. කෙසේවෙතත් තිරිගු පිටි මිල මෙලෙස වැඩි කර ඇත්තේ සිය ලිඛිත අවසරයක් නොමැතිව නීති විරෝධීව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව මිල වැඩි කිරීම ආපසු හරවා තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් 01ක් රුපියල් 87කට තවදුරටත් අලෙවි කළ යුතු බවයි ඔවුන් නිවේදනය කළේ.
ඉකුත් දා කෙරුණූ තිරිගු පිටි මිල වැඩි කිරීමත් සමග පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිලද වැඩි කෙරුණා. පාන් ගෙඩියක මිල වැඩි කෙරුණේ රුපියල් 05කින්. දැන් තිරිගු පිටි මිල යළි අඩු කර ඇති නිසා පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල ද අඩුකරන්නේ දැයි නෙත් නිවුස් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් විමසා සිටියා. එලෙස මිල අඩු කළ නොහැකි බවයි එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ.
"පිටි මිල වැඩි කළ නිසාම නිසා නෙවෙයි තවත් නොයෙක් දේ වැඩි වෙලා නිසයි අපි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වැඩි කළේ. දැන් පිටි මිල අඩු කළත් සීනි වලට තවත් බද්දක් පනවල. ගෑස් මිල වැඩි වෙලා. දැන් අපිට වෙලා තියෙන්නේ තව රුපියල් 5න් මිල වැඩි කරන්න මිස අඩු කරන්න නෙවෙයි."
රුපියල අවප‍්‍රමාණය වීමද බේකරි කර්මාන්තයට නරක ලෙස බලපා ඇතැයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.