Thursday, May 9, 2024

General line - 0115112241

බෙංගාල බොක්ක කැළඹෙයි: වැසි තත්ත්වය හෙටත්

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




පවතින වැසි තත්වය හෙට (08) දිනයේ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ පවතින කැළඹිලි තත්වය හේතුවෙන්. මේ වනවිට පවතින වැසි සහිත කාලගුණික තත්වයට හේතු පැහැදිලි කළා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක. 

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට හෙට දිනයේ ද උදය කාලයේ මෙන්ම සවස් කාලයේද තද වැසි අපේක්ෂා කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

පවතින වැසි සහිත තත්වය හේතුවෙන් කැලණි , කළු , ගිං සහ නිල්වලා යන ගංඟා වල මෙන්ම අත්තනගලූ ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. කැලණි ගඟේ නාගලගම්වීදියේ ජල මට්ටම පවතින්නේ අවදානම් තත්වයකයි. කළු ගඟේ මිල්ලකන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා වැඩි වෙමින් පවතිනවා. ගිං ගඟේ බද්දේගම ප‍්‍රදේශයේ ජල මට්ටම ද සුලූ ගංවතුර මට්ටමක් දක්වා වැඩිවෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

නිල්වලා ගඟේ ජල මට්ටම ද පානදුගම ප‍්‍රදේශයෙන් අනතුරුදායක මට්ටමක් දක්වා වැඩි වී තිබුණත් ක‍්‍රමයෙන් එය අඩුවෙමින් තිබෙනවා. අත්තනගලූ ඔය, දුනමලේ ප‍්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමකයි. 

කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ එම ගංගාවල ජල මට්ටම මේ දක්වා මහා ගංවතුර මට්ටමක් දක්වා වැඩි වී නොමැති බවයි. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි. 

මේ වනවිට පවතින ආපදා තත්වයන් පිළිබඳවද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. 

මේ අතර ඇල්පිටිය වල්ලඹගහවිල උඩුවිල ප‍්‍රදේශයේ දියනාමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවෙකු අද දහවල් දියේ ගිලී අතුරුදන් වුණා. දියනාමින් සිටි දරුවන් තිදෙනෙකු ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා. අතුරුදන් වූ සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටි අයෙක්. ඔහු සොයා පොලිසිය සහ නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. 

වැලිපැන්න නල්ලගොඩ ප‍්‍රදේශයේදී දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් පොලිසිය විසින් අද සොයාගනු ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 68 හැවිරිදි නල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

වරකාගොඩ උඩෝවිට ගීකියනවත්ත පාර ප‍්‍රදේශයේ දී ද නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටී අද අනතුරක් සිදු වුණා. එහිදී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පැවසුවේ. අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් අසළ පිහිටි පස් කන්දක් නායයාම මෙම අනතුරට හේතු වී තිබුණා. 

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එහි ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළයාමේ අවාදනම හේතුවෙන්.