Thursday, May 9, 2024

General line - 0115112241

තරුණයෙක් පැහැර ගත්තාට හිරුණිකා වරද භාර ගන්න කැමති වෙයි

අධිකරණ වාර්තාකරු




දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින්  පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩුව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට බලාපොරොත්තු වන බව ඇයගේ නීතිඥවරයා අද (08) අධිකරණයට දන්වා තිබෙනවා. 

මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව එම කරුණු විධිමත් ලෙසට ඉදිරි දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහාධිකරණය විනිසුරු ශෂී මහේන්ද්‍රන් නියෝග කර ඇති අතර ඒ අනුව නඩුව දෙසැම්බර් මස 11දා යළි කැදවීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා වලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට  අත් හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය  මීට පෙර නියෝග කළා.

ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමට මහාධිකරණය විසින් නියෝග කර තිබුණා. තවද එම විත්තිකරුවන් හත් දෙනාට රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක වන්දි මුදල් වින්දිත පුද්ගලයාට ගෙවීමට නියෝග කරනු ලැබුවා. 

2015 වර්ෂයේ දෙසැම්බර්  21 තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29ක් යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකු ට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇත.