Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ රඳවා සිටින ප්‍රබල පාතාල රැඳවියන් මාරු කිරීමට ගත් උත්සහයට බාධා

නිශාන් ද සිල්වා




කොළඹ බන්ධනාගාරයන්හි රඳවා සිටින ප‍්‍රබල ඝනයේ අපරාධ සිදු කර ඇති රැඳවියන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ගත් තීරණයට බාධා මතුව තිබෙනවා.

වැලිකඩ, කොළඹ රිමාන්ඞ්, නව මැගසින් බන්ධනාගාරයන්හි සිරදඩුවම් විදින සහ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප‍්‍රබල පාතාල සාමාජිකයන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. ඒ, ඔවුන්ගෙන් ඇතැම් පිරිස් බන්ධනාගාරයන්හි සිට සිදුකරන නීතිවිරෝධී කි‍්‍රයා සහ ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙනයි. 

බූස්ස බන්ධනාගාරයේ අමතර සිරමැදිරි 50 ක් තිබෙන අතර ඒවායින් 30 ක් භාරව තිබෙන්නේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයටයි. ඉන් කොටසක රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටින අතර ඔවුන්ද එම බන්ධනාගාරයේ වෙනත් ස්ථානයක රදවා තැබීමට පහසුකම් ඇති බවද අනාවරණ වුණා.

අදාළ සිරමැදිරි 30 ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළද ඊට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැහැ. 

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද මීට පෙර දැනුවත් කළ බවද අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසුවා. ජනාධිපතිවරයා ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නා ලෙසට ආරක්‍ෂක ලේකම් සහ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වෙත දන්වා තිබෙන බවයි වාර්තා වුණේ.