Monday, May 6, 2024

General line - 0115112241

නව නාවික හමුදාපති මුහුදු බෝම්බ නිෂ්කී‍්‍රය කිරීම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙක්

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්




නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (03) පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ, නව ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප‍්‍රදාය ඉටුකරමින්. 

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එම ධුරයට පත් කෙරුණේ ඉකුත් පළමු වැනිදායි.

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු නාවික හමුදාවේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස එක් වන්නේ 1984 වසරේදීයි.

ඉන් අනතුරුව 2012 වසරේ නොවැම්බර් පළමු වැනිදා රියර් අද්මිරාල් නිලයට උසස් කරන පියල් ද සිල්වා ගැඹුරු මුහුදේ කිමිදුම් හා ගලවා ගැනීමේ මෙන්ම මුහුදු බෝම්බ නිෂ්කී‍්‍රය කිරීම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙක්.

ආපදා කළමණාකරණය පිළිබදවද මනා පළපුරුද්දක් ඇති ඔහු රටේ ඇති වූ ආපදා අවස්ථාවන්වලදි සිය දායකත්වය උපරිමයෙන් ලබාදුන්නා. 

නාවික නිලධාරියෙකු ලෙස මව්බිම වෙනුවෙන් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම, රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ හා උත්තම සේවා ඇතුළු පදක්කම් රැසකින්ද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පිදුම් ලබා තිබෙනවා. නාවික හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමට පෙර ඔහු 2018 වසරේ ජූලි 2 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙසද කටයුතු කළා.