Sunday, May 5, 2024

General line - 0115112241

යාල ජාතික වනෝද්‍යානයේ ජාවාරමක් හෙළි වෙයි

එම්.කේ නන්දසේන/සමන්ත කුමාර




යාල ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කළ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වනජීවී නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුවයි. ඊයේ (09) රාති‍්‍රයේ ඇසුනු වෙඩි ශබ්දයක් හේතුවෙන් වනජීවී නිලධාරීන් යාල වනෝද්‍යානයේ බන්දුවැව ප‍්‍රදේශය නිරීක්ෂණය කර තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ ස්ථානයේ සිට ධාවනය වූ සෆාරී ජීප් රථයක් නතර කරන ලෙස වනජීවී නිලධාරීන් අණ කළ ද එය නොතකා එම ජීප් රථය ධාවනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම අවස්ථාවේ වනජීවි නිලධාරීන් ජීප් රථයට වෙඩි තබා ඇති අතර ජීප් රථයේ සිටි අයෙකුද වනජීවී නිලධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා. පළාගිය ජීප් රථයේ අංකය වනජීවී නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දීමෙන් පසු තිස්සමහාරාම මහසෙන්පුර ප‍්‍රදේශයේ ගරාජයක තිබී එම ජීප් රථය අද (10) දහවල් අත්අඩංගුවට ගැනුණා.

ඒ අනුව විමර්ශන සිදු කළ පොලීසිය සැකකරුවන් සහ ගිනිඅවියක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් එක් අයෙකු උදෑසන කාලයේදී සංචාරකයින්ට වනසතුන් පෙන්වා ජීවිකාව පත්වාගෙන යන අයෙකු  බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.