Thursday, May 16, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ට සිදුවන මානසික බලපෑම් පිලිබද වාර්තාව එළිදක්වයි




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා වර්තමානය වනවිට ඒ තුළින් දරුවන්ට සිදුව ඇති බලපෑම් පිළිබඳ සකස් කෙරුණු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙය සකස් කළේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පී එම් ජයවර්ධනයි.
 
05 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරීත්වය නිසා සියලූම දරුවන්ගේ සුන්දර ළමා කාලය ඊට කැප කිරීමට සිදුව ඇති බවයි එම වාර්තාවේ දක්වා ඇත්තේ. අධික මානසික පීඩනය, බුද්ධි වර්ධනය දුර්වල වීම, දරුවන්ගේ ළමා කාලය අහිමි වීම මෙම විභාගය හේතුවෙන් සිදුවන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. 

වයසට නොගැලපෙන අධික වැඩ ප‍්‍රමාණයක් පැවරීම, දරාගත නොහැකි මට්ටමකට මානසික පීඩනයක් දරුවාට ලබා දී ඇති බවද එම වාර්තායේ දැක්වෙනවා. මානසික පීඩනය හේතුවෙන් දරුවන් රෝගී වූ අවස්ථා බොහෝමයක් වාර්තා වී ඇති අතර ඒ තුළින් දරුවාගේ ශරීරයේ විවිධ පද්ධතිවලටද බලපෑම් ඇති කර තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. දරුවාගේ මතකය හා අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ‘‘හිපොකැම්පස්’’ නමැති මොළයේ කොටසට හානි සිදුවීමෙන් ඉදිරි අධ්‍යාපන ගමන අඩාල කිරීමක් සිදුවන බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
 
05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද දරුවන්ට අහිමි වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඉතා උසස් අන්දමින් ලකුණු ලබා ගත් දරුවන් ද මෙම විභාගය මගින් අසමත් කර ඇති බව ද අනාවරණ වී තිබෙනවා. දළ වශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරු දැරියන් තුන්ලක්ෂ 60,000ක් අතරින් සාමාන්‍යයෙන් කඩඉම් ලකුණු පසු කරන්නේ 15,000ක් පමණ බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අත්වන වාසි සහ අවාසි ද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පී එම් ජයවර්ධන සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වාසි 02ක් පමණක් අත්වන අතර ඉන් දරුවන්ට අවාසි 08ක් සිදු වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ජනපි‍්‍රය පාසල් තෝරා ගැනීම සහ ශිෂ්‍යත්ව ආධාර ලබා ගැනීම එම විභාගයෙන් ලැබෙන වාසි වනවා. අධික මානසික ආතතිය නිසා මොළයට හානි සිදුවීම, බුද්ධි වර්ධනය හීනවීම, පෞරුෂත්වය දුර්වල වීම හා ශාරීරික ආබාධ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අත්වන වාසි කිහිපයක්. සාමාජීය ගැටලූ, ආර්ථික ප‍්‍රශ්ණ, සාරධර්ම පිරිහීම හා ළමා කාලය අහිමිවීම ද මෙම විභාගයෙන් අත්වන අවාසි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.