Monday, April 29, 2024

General line - 0115112241

අරලියගහ මන්දිරයේ අද සිදුකර ඇති කැඳවීම ගැන ජනපතිට පැමිණිල්ලක්

සජිත් තිලකරත්න




රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නිලධාරීන් අද (16) දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා.

ඔවුන් පවසන්නේ මෙය රාජ්‍ය සේවා කොමිසමට දේශපාලන බලපෑම් සිදු කිරීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමේ මූලික අරමුණක් වූයේ ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමයි. ඒවා ඍජුවම වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙලෙස රාජ්‍ය සේවා කොමිසම කැඳවීම සිදු වන්නේ දේශපාලන බලපෑම් සිදු කිරීමට නොවන බවයි. 

එහිදී "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් කිසිම කොමිසන් සභාවක් නැහැ. මහජනතාවගේ ගැටලු පිළිබඳව ඕනෑම කොමිසන් සභාවක් සමග සාකච්ඡා කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.