Monday, April 29, 2024

General line - 0115112241

සේනා දළඹුවා කාපු අස්වැන්නේ අඩුව පුරවන්න පිටරටින් බඩඉරිගු ගේන්න වෙයි

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




සේනා දළඹුවා හේතුවෙන් මේ වනවිට බඩ ඉරිගු වගාවේ හෙක්ටයාර් 40,000ක් පමණ බලපෑමට ලක්ව ඇතැයි සිදු කරන ලද නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. මේ හේතුවෙන් වාර්ෂිකව ලැබෙන බඩ ඉරිගු අස්වැන්නෙන් සියයට 20කට පමණ හානියක් වනු ඇති බවටයි දැනට අනුමාන කර ඇත්තේ.

සේනා දළඹුවා මර්දනයට මේ දක්වා නිශ්චිත ක‍්‍රමවේදයක් සොයාගෙන නැහැ. එබැවින් මෙම හානිය තවදුරටත් වැඩිවිය හැකි බවටයි ගොවි සංවිධාන අනතුරු අගවන්නේ. එසේ වුවහොත් මෙරට බඩ ඉරිගු පරිභෝජන අවශ්‍යතාවට ද එමගින් බලපෑම් එල්ල විය හැකි බව ප‍්‍රකාශ කෙරුණා. මෙම තත්වයට මුහුණදීමට මේ වනවිට ගෙන ඇති පියවර පිළිබඳ නෙත් නිවුස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ රටට අවශ්‍ය වන බඩ ඉරිගු ප‍්‍රමාණය පිට රටින් ගෙන්වීමට සිදු වනු ඇති බවයි. 

බඩ ඉරිගු වගාවට පමණක් නොව මේ වනවිට වී වගාව ද සේනා දළඹුවා හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බව නෙත් නිවුස් මීට පෙර තොරතුරු අනාවරණ කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මේ වනවිටත් සේනා දළඹුවා පොළොන්නරුවේ වී වගාව ආක‍්‍රමණය කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ වී වගාව තර්ජනයට ලක්ව ඇතත් මේ දක්වා සිදු වූ හානි පිළිබඳ නිල තොරතුරු නොමැති බවයි. 

මේ අතර සේනා දළඹුවා මර්දනය කිරීමට ක‍්‍රමවේදයක් සොයාගත් ගොවියෙකු පිළිබඳ කැකිරාව යකල්ල ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. ඔහු ඒ සඳහා භාවිත කර තිබුණේ දුම්කොළ වගාවට හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක්. බී. විජේසිංහ නම් වූ එම ගොවියා පැවසුවේ මෙම කාබනික දිලීර නාශක යෙදීමෙන් තම බඩ ඉරිගු වගාව රැක ගැනීමට හැකි වූ බවයි. 

සේනා දළඹුවා මර්දනයට තවත් ක‍්‍රමවේදයක් සොයාගත් ගොවියෙකු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන ද අනාවරණ කළා.

එහිදී ඔහු පැවසුවේ "අපිට ආරංචි වෙන හැටියට මෙම දළඹුවා වී වගාව, උක් වගාව සහ කුරක්කන් වගාවටත් පැතිරිලා තියෙනවා.  බෝග වර්ග 80කට මේ දළඹුවාගේ බලපෑම ඇති වෙලා. ආණ්ඩුව නිහඬයි. අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ගොවි මහත්තයෙක් දිලීර වර්ගයක් හොයාගෙන තමන්ගේ බඩඉරිගු වගාවට සහ උක් වගාවට යොදලා තිබුණා. ඒකෙන් ප්‍රතිඵල තියෙනවා කියලා කියනවා.. නමුත් ඒ පිළිබඳවවත් සැලකිල්ලක් නෑ." යනුවෙනි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහඉලූප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන පැවසුවේ සේනා දළඹුවා මර්දනය කිරීමට ගොවීන් සොයාගත් බව කියන ක‍්‍රමවේද පිළිබඳ ඉදිරියේ දී සොයාබලන බවයි.

එම ක‍්‍රම මගින් දළඹුවන් ස්ථීර වශයෙන්ම විනාශ වන්නේදැයි පරීක්ෂණයක් කළ යුතු බවද ඇය කියා සිටියා. විදේශ රටකින් සංක‍්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමිනාශක වර්ග 12ක් සොයාගෙන ඇතත් එමගින් විනාශ වන්නේ කෘමීන් පමණයි. සේනා දළඹුවාගේ බීජ විනාශ කිරීමේ හැකියාවක් ඊට නොමැති බවද මහඉලූප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.