Sunday, May 5, 2024

General line - 0115112241

බංග්ලාදේශයේදී තිසර යලි දස්කම් අතරට : තරගයේ වීරයා සම්මානයද දිනා ගනියි

දිනුක් හේවාවිතාරණ




බංග්ලාදේශයේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් සහ ඩකා ඩයිනමයිට් අතර තරගයෙන් ලකුණු 07 ක තියුණු ජයක් ලැබීමට තිසර පෙරේරා නියෝජනය කරන කොමිලා වික්ටෝරියන්ස් පිල ඊයේ (22) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු ඩකා ඩයිනමයිට් පිලේ ආරාධනාව අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි කොමිලා වික්ටෝරියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 153ක් රැස් කර ගනු ලැබුවා. මෙහිදී ෂම්සුර් රෙහේමාන් ලකුණු 48ක් රැස් කර ගත් අතර තිසර පෙරේරා පන්දු 12කදී වේගවත් ලකුණු 26ක් රැස් කර ගත්තේ 6 පහරවල් 3ක් එල්ල කරමින්.

ලකුණු 154 ක ජයග්‍රාහි ඉලක්කය හඹා යාමට පැමිණි ඩකා ඩයිනමයිට් පිලට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 146ක් පමණි. ඩකා ඩයිනමයිට් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ ඇන්ඩ්රේ රසල් පන්දු 24කදී වේගවත් ලකුණු 46 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රාණය කරා රැගෙන යමින් සිටියදී පන්දුව අතට ගත් තිසර පෙරේරා ඔහුගේ කඩුල්ල දවා ගනිමින් කොමිලා වික්ටෝරියන්ස් පිලට ජයග්‍රාහණයේ දොරටු විවිර කර දුන්නා.

ඉන් පසුව තරගයේ 17 වෙනි ඕවරයේ දී යලිත් වරක් ක්‍රියාත්මකවූ තිසර පෙරේරා එම ඕවරයේදී ප්‍රතිවාදී පිලට ලකුණු 5ක් පමණක් ලබා දෙමින් ඔවුන්ගේ කඩුලු 02ක් දවා ගත් අතර තරගයේ තීරණාත්මක 19 වෙනි ඕවරයේදී ඔහු ලබා දුන්නේ එක් ලකුණක් පමණක් වීමද විශේෂත්වයක්.

තිසර පෙරේරා තරගයේ පන්දු ඕවර 03ක් පමණක් යවමින් ලකුණු 14ට කඩුලු 3ක් දවා ගත් අතර පිත්තෙන් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.