Monday, April 29, 2024

General line - 0115112241

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ගැන හමුදාවේ ස්ථාවරය හෙළිකරයි

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව බි‍්‍රතාන්‍යයේ ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රික දැනුවත් කිරීමක් නොමැති බව ශ‍්‍රී ලංකා යුද හමුදාව පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක, බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ මේ පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළ බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ම දැනුවත් කිරීමක් සිදු කළහොත් ඔහු වෙනුවෙන් ක්‍රියාකරන බවත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු තවමත් ශ‍්‍රී ලංකා යුද හමුදාවට වරදකරුවෙකු නොවන බවද පෙන්වා දුන්නා.

බි‍්‍රතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය පෙරේදා (21) තීන්දු කර තිබුණේ පොදු රීති පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු වරදකරුවෙකු බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එහිදී වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට එරට අධිකරණයට නොහැකි බවයි. බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ යෙදී සිටින ඔහුට රාජ්‍ය තාන්ති‍්‍රක මුක්තිය හිමිවන බැවින් බි‍්‍රතාන්‍ය නීතිය යටතේ සිදු කෙරෙන කිසිදු නීති කටයුත්තකට ඔහු යටත් නොවන බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව අදාළ නඩුව ගොණුකර තිබුණේ බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඉකුත් වසරේ පෙබරවාරි මස 4 වැනි දින උද්ඝෝෂණයක් අවස්ථාවේ ඔහු කළ හැසිරීමක් සම්බන්ධයෙන්.