Wednesday, May 1, 2024

General line - 0115112241

පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා අවසන් - යළිත් ජාතික ආණ්ඩුවක සාකච්ඡා සාර්ථක වෙමින් ඇති බවට වාර්තා

දිල්ශාන් තුෂාර




යළිත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා මේ වනවිට සිදු කරන සාකච්ඡා සාර්ථක වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සාකච්ඡා සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන්.

මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර අවසන් බවයි අමාත්‍ය මනෝ ගනේෂන් නෙත් නිවුස් වෙත කියා සිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එක් කර ගැනීම අරමුණ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩි දුරටත් සඳහන් කළේ.

එහිදී "පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා කැබිනට් ධූර සංඛ්‍යාව වැඩි කරගන්න අපි උත්සහ කරනවා. ඒකට සහය දෙන පක්ෂ සහ මන්ත්‍රිවරු අපි සමග එකතු වෙනවා. ඒ අයව එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ උත්සහය තියෙනවා. ශ්‍රීලනිපයෙන් තමයි අපි සමග එකතු වෙන්න ඕනේ.. වෙන කොහෙවත් පක්ෂයක් නෑනේ. දැනට අපිට 113ක් ඝෘජුව නෑනේ. නමුත් දැනටත් අපිට ඡන්දය අවශ්‍ය වෙලාවට 113ක් පෙන්වන්න මන්ත්‍රිවරු ඉන්නවා." යනුවෙන්ද සඳහන් කළා.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සන්ධානයේ පාර්ශ්වය සමග මේ දක්වා කිසිඳු සාකච්ඡාවක් සිදුව නොමැති බවයි. ඉදිරියේදී එවැනි යෝජනාවක් ලැබුණ ද ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ කිසිදු කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තම සහාය ලබා නොදෙන බවයි. එහි මධ්‍යම කාරක සභික කේ. ඞී. ලාල්කාන්ත මෙම අදහස් පළ කළා.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන අරමුණක් වී ඇත්තේ අයවැයට පෙර මෙම ජාතික ආණ්ඩුව පිහිටුවා ගැනීම බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. තවත් පක්‍ෂයක් සමග එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද තහවුරු කර තිබෙනවා.