Wednesday, May 1, 2024

General line - 0115112241

පුරාවිද්‍යා ස්ථානවලට හානි කරන අයට දඬුවම් දැඩි කරයි

දිල්ශාන් තුෂාර




පුරාවිද්‍යා ස්ථානවලට හානි කරන සහ එහි ගෞරවය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීති දැඩි කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල පැවසුවේ දැනට පවතින නීති කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව දඩුවම් සහ දඩ මුදල්ද ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ. 

පුරාවිද්‍යා ස්ථානවලට හානි නොකරන ලෙස ජනතාව කොතරම් දැනුවත් කළද ඉන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල මෙතෙක් අත්වී නොමැති බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ. එම තත්ත්වය සැලකිල්ලට ගෙන දඩුවම් වැඩි කිරීම සහ දඩ මුදල ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු වූ බව මහාචාර්ය පී.බී. මණ්ඩාවල වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් ඓතිහාසික ස්ථානවල වැඩි වශයෙන් නීතිවිරෝධී ලෙස කැණිම් සිදුවන බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. 

මේ අතර ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ අඩ නිරුවතින් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය ඉකුත් සමයේ දැඩි කතාබහට ලක් වුණා.

ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග සිසුන් පිරිසක් ඡායාරූප ලබාගෙන අන්තර් ජාලයට එක්කළ පුවත ඉකුත්දා වාර්තා වුණේ එහි උණුසම මැකී යාමටත් පෙරයි. සිද්ධිය සම්බන්ධයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 5 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේවෙතත් ඔවුන්ට අද දිනයේ පැවැත්වෙන විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය ඉකුත්දා අවසර ලබාදුන්නා.