Wednesday, May 1, 2024

General line - 0115112241

දළඹුවන් අඩු උවද සලඹයා ගැවසෙන ස්ථාන ගැන විමසිලිමත් වන්න

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




සේනා දළඹු ව්‍යාප්තිය මේ වනවිට වසංගත තත්ත්වයෙන් මිදී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දළඹු ව්‍යාප්තිය ක‍්‍රමයෙන් අඩුවන ලකුණු පළවී ඇති බවයි නවතම සමීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් තවදුරටත් සේනා දළඹුවාගේ තර්ජනයට ලක්වූ ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමටයි කෘෂිකර්ම බලධාරීන් කටයුතු යොදා ඇත්තේ. මේ වනවිට ලැබී ඇති තොරතුරු හා පාරිසරික දත්ත අනුව සේනා දළඹු ව්‍යාප්තිය පිළිබඳ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "බඩඉරිගු වගාව දැන් මෝරමින් තියෙන්නේ. වගා කරපු කාලෙදි තමයි මේක උත්සන්න වුණේ. දැන් මේ සතාට බෑ අර විදිහට පැතිරෙන්න. කිරි කරල් සඳහා මාසෙන් මාසෙට බඩඉරිගු දැන් හිටවන පුරුද්ද ආයේ කරන්න එපා කියලා අපි කිව්වේ ඒකයි. ඒ නිසා මේ සතාට බිත්තර දාලා ඒ සතාගේ කීටයින්ගේ පැවැත්මට තියෙන පරිසරය අඩු වෙනවා." යනුවෙනි.

දළඹු ව්‍යාප්තිය අඩුවුවද අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. එසේනම් මින් ඉදිරියට ගොවීන් අනුගමනය කළ යුතු ක‍්‍රමවේද මොනවාදැයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී පෙන්වා දුන්නේ වසංගත තත්ත්වය අඩු උවද මෙම තත්ත්වය තවමත් පහව ගොස් නොමැති නිසා තවත් කන්නයක් දෙකක් යන තෙක් එක යායට බඩඉරිගු වගා කිරීම නොකළ යුතු බවයි පෙන්වා දුන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථානුකූලව ලබාදෙන උපදෙස් අනුගමනය කරන ලෙසද දන්වා සිටියා.

කෙසේවෙතත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොවීන් බඩඉරිගු වගාවෙන් ඉවත්වුවහොත් සේනා දළඹුවා සෙසු වගාවන්වලට ව්‍යාප්ත විය හැකි බවයි. මෙම දළඹුවා ශාක 100කට වඩා හානි කරන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවම සඳහන් කර ඇති තත්ත්වයක් තුළ බඩඉරිගු වගා කිරීම සම්පූර්ණයෙන් නවතා දැමීම තුළ මෙම සතා උඩරට එළවලු වගාවට හානි කළ හැකි බවයි පෙන්වා දෙන්නේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ සිය වගාවන් පිළිබඳ ගොවීන් නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවයි. දළඹුවා පිළිබඳ කිසියම් සැකයක් හෝ මතුවූ අවස්ථාවක වහා කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කරන ලෙසටයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. සේනා දළඹු ගහණයේ යම් අඩුවක් තිබුණ ද සළඹයා රැඳී සිටින ස්ථාන තවදුරටත් පැවතිය හැකි බව සේනා දළඹු මර්ධන විශේෂ ඒකකය ද ප‍්‍රකාශ කළා.