Thursday, May 9, 2024

General line - 0115112241

වසර 17කට පසුව අමෙරිකාව සහ තලෙයිබාන් සටන්කාමින් සාම ගිවිසුමකට එළැඹීමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ




තලෙයිබාන් සටන්කාමින් සමග ඇෆ්ගනිස්ථානයේ 17 වසරක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා වන යෝජිත සාම ගිවිසුමක් කෙටුම්පත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද හා තලෙයිබාන් සටන්කාමින් අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය සතියේ කටාර්හිදී පුරා දින 06 ක කාලයක් පැවති සාකච්ජාවලින් අනතුරුව මෙම යෝජිත සාම ගිවිසුම සඳහා වන කෙටුම්පත ඇතිකර ගැනීමට දෙපාර්ශවය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් තලෙයිබාන් සටන්කාමින් සමග ඍජු සාකච්ඡා සඳහා නව කැඳවීමක් කර ඇතත් වත්මන් ආණ්ඩුව "රූකඩ ආණ්ඩුවක්" බව පවසමින් ඉස්ලාමිය සටන්වාදීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

1996 වසරේ සිට 2001 දක්වා කාලය පුරාවට ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සටන්කාමින් ගේ පාලනයේ පැවතියා. නමුත් 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා අල් කයිඩා සංවිධානය අමෙරිකාවට සිදුකරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සිටි ඉස්ලාමිය සංවිධාන ඉලක්ක කර ගනිමින් සිය යුධ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වුවත් දෙපාර්ශවය අතර සාම ගිවිසුමකට නියමාකාරයෙන් එළැඹීමට වසර ගණනාවක් ගතවනු ඇති බව විශේලේෂකයින් පෙන්වා දෙනවා.

ඇෆ්ගනිස්තානයේ සංහිඳියාව සඳහා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත ෂල්මයි ඛලිලාසාඩ් තලෙයිබාන් සටන්කාමින් සමග ඇතිවූ සාකච්ජාව වල ප්‍රගතිය ඇෆ්ගන් ආණ්ඩුව දැනුවත් කිරීම සඳහා කාබුල් නුවරට ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විශේෂ නියෝජිත ෂල්මයි ඛලිලාසාඩ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ යෝජිත සාම ගිවිසුම් කෙටුම්පතේ කොන්දේසියක් ලෙස තලෙයිබාන් සටන්කාමින් ත්‍රස්තවාදී කණ්ඩායම් හා ක්‍රියාකාරකම් සඳහා මර්මස්ථානයක් ලෙස ඇෆ්ගනිස්ථානය යොදා නොගත යුතු බව දැනුම් දී ඇති බවයි.