Saturday, April 27, 2024

General line - 0115112241

මහත්මා ගාන්ධිගේ රුවකට වෙඩි තැබූ කාන්තාවක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය  නිදහස් ව්‍යාපාරයේ නායක මහත්මා ගාන්ධිගේ රුව ඇතුළත් පෝස්ටරයකට වෙඩි තැබූ බව කියන කාන්තාවක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් නායිකාවක් වන පූජා පාන්ඬේ නමැති කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මහත්මා ගාන්ධි වෙඩි තබා ඝාතනය කර වසර 71ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා ඉකුත් 30වනදා එම දේශපාලන කණ්ඩායම විසින් උත්සවයක් සංවිධාන කර තිබුණා.

එහිදී අදාළ කාන්තාව මහත්මා ගාන්ධිගේ රුව ඇතුලත් පෝස්ටරයක් ඉලක්ක කර වායු පිස්තෝලයකින් වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් එම පක්ෂයේම සාමාජිකයින් විසින් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය ප‍්‍රසිද්ධියට පත්වීමත් සමග පූජා පාණේඬේ මෙන්ම ඇගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් යොදවා තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඇතුළුව අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 09දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවන්හි සඳහන්. සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.