Monday, November 25, 2024

General line - 0115112241

සම්බන්ධන්ට සහ සුමන්තිරන්ට විරෝධයක් (PHOTOS)

මාධව කුලසූරිය




දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන්ට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (09) වවුනියාවේ විරෝධතාවයක නිරත වුණා.

අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ දිනට දින 719 ක් විරෝධතාවයේ නිරත වුවද අතුරුදහන් වුවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුමක් ලබාදීම වෙනුවට සම්බන්ධන් හා සුමන්තිරන් ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසනවා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වු සම්බන්ධන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටළු අමතක කර වර්තමානයේ ආණ්ඩුවේ සහයකයින් බවට පත්ව සිටින බවයි.

අතුරුදහන් වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් සිය පිරිස් රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් සාකච්ඡා පැවැත්වුවද අදාළ සාකච්ඡාවන් වෙනුවෙන් සුමන්තිරන් හා සම්බන්ධන් මැදිහත්වී රජය සාධාරණීකරණය කිරීම සිදුකරමින් සිටින බැවින් තමන්ගේ ගැටළුවට මෙතෙක් විසදුම් නොලැබි ඇති බවද විරෝධතාකරුවන් පැවසුවා.

දේශීය යාන්ත්‍රණයක් හා දේශීය ක්‍රමවේදයක් මගින් ලබාදෙන විසදුම් තමන් පිළිනොගන්නා බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ මෙරට අතුරුදහන් වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවිය යුතු බවද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඉල්ලීම් කරනු ලබනවා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයට එක්ව සිටියා.