Sunday, May 5, 2024

General line - 0115112241

මදුෂ්ගේ සමීපතමයින් සොයා රට පුරා මෙහෙයුම් - සූරියවැවදී තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

කසුන් කැලුම්




ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් සොයා ප‍්‍රදේශ රැසක මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මදුෂ්ගේ සමීපතමයින් දෙදෙනෙකු අද (10) දහවල් සූරියවැව විහාරගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු බවයි පොලිසිය පැවසුවේ. 

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ සහ තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය විසින් මෙම වැටලීම සිදු කළා. එහිදී මෙම සැකකරුවන් ළඟ තිබී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මාකඳුරේ මදුෂ් සමඟ ඍජු සබඳතා පවත්වමින් අපරාධ රැසක් සිදු කළ අකුරැස්ස තල්ගස්වත්ත සහ මාතර තෙලිජ්ජවිල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. 

ඔවුන් සතුව තිබී සොයාගත් ගිනි අවිය මිනීමැරුමක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මදුෂ්ගේ ගෝලයෙකු වන රොටඹ අමිල සම්පත්ට අයත් එකක් බවයි අනාවරණ වී ඇත්තේ. එම ගිනි අවිය මාකඳුරේ මදුෂ්ගේ පියා පදිංචිව සිටි සූරියවැව හත්පෝරූව ප‍්‍රදේශයේ පිහිටි නිවසේ සැඟවීමට රැගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු මදුෂ්ගේ පියාගේ අවමගුල් දිනයේ දී නිවසේ කටයුතු සොයා බැලූ අයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු මදුෂ් සමඟ දුරකතනයෙන් ඍජු සබඳතා පැවැත්වූ බවට ද අනාවරණ වී තිබෙනවා. 

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර මාකඳුරේ මදුෂ්ගේ හිතවතෙකු බව කියන අන්දරේවත්තේ චාමර නමැත්තා ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැණුනා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකාය මගින්. ඔහු සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 05ක් ද සොයා ගැණුනා. මෙම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ චමින්ද සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. පුද්ගලයින්ට තර්ජනය කිරීම් හා කප්පම් ගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ මෙම සැකකරු පොලිසිය මඟහරිමින් සිටි අයෙකු බවට ද හෙළිව තිබෙනවා. ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මදුෂ්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට ද අනාවරණ වී තිබෙනවා. 

‘‘ ඕලූ මරා’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙරොයින් ජාවාරම්කරුවෙකුද වෙන්නප්පුව සිරිගම්පළ ප‍්‍රදේශයේ දී වෙන්නප්පුව පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 02යි මිලි ග‍්‍රෑම් 300ක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් මිලදී ගෙන පානය කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවන් 11දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගැණුනා.

මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනා එරට අධිකරණයක් වෙත අද (10) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.