Friday, November 29, 2024

General line - 0115112241

පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාවේ සහය

දිනුක් හේවාවිතාරණ




ත්‍රස්ත සංවිධාන වලට සිය භුමිය තුලදී ආරක්ෂාව සැපයීම සහ ආධාර ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන මෙන් ඉල්ලා පාකිස්ථානයට බල කිරීම සඳහා ඉන්දියාව ගෙනා යෝජනාවකට ශ්‍රී ලංකාව ඊයේ (15) එකඟ වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කාශ්මීරයේ පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක හමුදා රථ පෙළකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්ථාන රජයට එරෙහිව දැඩි රාජතාන්ත්‍රික ක්‍රියා පිළිවෙතකට පිවිසෙන බවට එරට මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ මෙම හදිසි රැස්වීම කැඳවා තිබුනා.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේ කැඳවීම මත ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලිදේශය ඇතුළු රටවල් 25ක දුත පිරිසක් මෙම හදිසි රැස්වීමට සහභාගිවී ඇති අතර එහිදී ත්‍රස්තවාදි කණ්ඩායම් වලට එරෙහිව පාකිස්ථාන රජයට බලකිරීමේ මෙම යෝජනාවට එම දුත පිරිස සිය එකඟතාවය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථානයට අද (16) පැමිණීමට නියමිතව සිටි සවුදියේ ඔටුන්න හිමිකුමරු වන මොහොමඩ් බින් සල්මාන් සිය සංචාරය දිනකින් කල් දමා තිබෙනවා. ඒ අනුව ඔහු හෙට (17) දිනයේදී පාකිස්ථානයට පැමිණීමට නියමිත බවයි පාකිස්ථාන රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඉදිකිරීමට යෝජිත අමෙරිකානු ඩොලර් බිලියන 10ක වටිනාකමකින් යුත් බොර තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් වන ගිවිසුම් අත්සන් තැබීමට සහ ආයෝජනයන් කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් වන අවස්ථා ගැන සාකච්ජා කිරීම සඳහා සවුදියේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් ද මොහොමඩ් බින් සල්මාන් කුමරු සමග පාකිස්ථානයට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව දැඩි මතයක සිටින අවස්ථාවේදී සවුදියේ ඔටුන්න හිමිකුමරුගේ සංචාරය යෙදීම සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. 

කෙසේ වුවත් පාකිස්ථාන සංචාරය අවසන් වූ වහාම සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.