Tuesday, May 21, 2024

General line - 0115112241

පොළොන්නරුව ඓතිහාසික ශිවදේවාලයේ ශෛලමය බැමි යටින් මතු වූ ඉතිහාසය (PHOTOS)

රොෂාන් තුෂාර




පොළොන්නරුව ඓතිහාසික ශිවදේවාලය අංක 01 හි සංරක්ෂණ කටයුතු ඇරඹීම සඳහා එහි සියලු ශෛලමය බැමි ගලවා ඉවත් කොට කැනීම් කිරීමේදී ලෝහමය මංජුසාවක් හා එම ශිවදේවාලයේ ඇතුළත ගෘහයේ පාදම ඊට ඉහත දී ඉදිකරන ලද ගොඩනැගිල්ලක පාදමක් මත ඉදිකර ඇති බවට සාක්ෂි මතුවී තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලය මේ බව පෙන්වා දෙනවා.

මීට මාස කිහිපයකට ඉහත දී පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ශිවදේවාලයේ ශෛලමය බිත්තියක කොටසක් ගැලවී බිම පතිත වූ අතර ඉන් පසු මෙහි සංරක්ෂණ කටයුතු  ඇරඹීමට කටයුතු කර තිබුණා. 

ශිවදේවාල පාදමට යටින් ඉපැරණි ගඩොලු අතුරා ඉදි කරන ලද ගොඩනැගිල්ලක පාදමක් මතුවී තිබෙන අතර එම පාදමෙහි කපරාරු ශේෂයන් ද පෙනෙන්නට තිබෙන අතර නිල් පැහැති ආලේපනයක හා රතු පැහැ ආලේපනයක සාක්ෂිද ඉන් හමුවී තිබෙනවා.

මෙම කැනීම්වලදී හමු වූ ලෝහමය මංජුසාව පුරා විද්‍යා නිලධාරින්ට බාරදී ඇති බවත් අඩි තුනක් පමණ කැනීම් කිරීමේ දී පාදම ගොඩනැගීම සඳහා ඉතා සරල ක්‍රමයක් අනුගමනය කර තිබෙන බව ද නිරීක්ෂණය වූ බව එහි නිලධාරියෙකු පැවසුවා.

අත්තිවාරමට යටින් වූ ස්ථරය දෙපස බැමි සාදා මැද බොරලුවලින් පුරවා ශක්තිමත් කර තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවා.

කෙසේ වෙතත් පරාක්‍රමබාහු රාජ සමයට පෙර මෙහි ඉදි කිරීමක් තිබෙන්නට ඇති බව ඉන් අනුමාන කළ හැකි බවත් ඉදිරියේ දී තවත් සාක්ෂි හමුවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවා.