Sunday, May 5, 2024

General line - 0115112241

"ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන රටවල් සාමාජිකත්වයෙන් ඉවත් කරන්න" : ඉන්දියාව ICC යෙන් ඉල්ලයි

දිනුක් හේවාවිතාරණ




2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජුනි මස 16 වනදා පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ක්‍රීඩා නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය සුදානම්ව සිටින බවට වාර්තා වනවා. 

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදී සංවිධාන සඳහා රැකවරණය සපයන රටවල් සමග පවතින් සියලු සම්බන්ධකම් කපා හරින ලෙසට තමන් ඉල්ලා සිටින බවයි. 

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර හා තර්ජණ හේතුවෙන් සිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ බළධාරීන්ගේ ආරක්ෂාව ගැන සිතා ඉදිරි ලෝක කුසලාන තරගාවලිය ඇතුළු ICC තරගාවලියන් සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් තමන් මේ වන විටත් දැඩිසේ සිතා බලමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය සිය ලිපියෙන් ICC වෙත දැනුම් දී තිබෙනවා.

එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අනෙකුත් සාමාජික රටවල් සිය කණගාටුව පළකර ඇති බවත් තමන් වෙත ඔවුන්ගේ සහය පළකර සිටින බවද ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය සිය ලිපියෙහි සඳහන් කර සිටියි.

" මෙම හේතුව නිසා අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා ත්‍රස්තවාදී සංවිධාන වලට රැකවරණය ලබා දෙන රටවල් සමග තිබෙන සියලු සම්බන්ධකම් නතර කර දැමීමට පියවර ගන්න කියා" ඉන්දියාව සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

යම් හෙයකින් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන්නේ නම් සිය ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ ආරක්ෂාව පිලිබදව සහතිකයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහ එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයෙන් තමන් බලාපොරොත්තු වන බවද ඉන්දියාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ පාකිස්ථානය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට අවශ්‍ය සියලු සැලසුම් ඉන්දියාව විසින් මේ වන විටත් සකස් කර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.
  
ඉකුත්දා කාශ්මිරයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මිය යාමත් සමග එයට වගකිවයුතු ත්‍රස්ත සංවිධානය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවට ඉන්දියාව චෝදනා එල්ල කළා. නමුත් පාකිස්ථාන රජය ඉන්දියාව විසින් එල්ල කරනු ලැබූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ හේතුවෙන් ඉන්දියාව තුල පාකිස්ථානයට එරෙහිව දැඩි විරෝධතාවයක් මතුවී තිබෙනවා.