Sunday, May 5, 2024

General line - 0115112241

ජනපතිගේ නියෝජිතයන් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ

සමන්ත කුමාර




ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට සහභාගීවන්නන් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද අද (13) සංවාද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් සභානායකවරයා අමතමින් කියා සිටියේ මෙම සැසිවාරය සඳහා ජනාධිපතිවරයා නියෝජනය කිරීමට වෙනම කණ්ඩායමක් නම් කර ඇතැයි වාර්තා වන බවයි.

එහි සත්‍යතාව කුමක්දැයි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සභානායකවරයාගෙන් ප‍්‍රශ්න කළා. අදාළ කණ්ඩායම සඳහා ඇතුළත්ව සිටින අයගේ නම් ද සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් තවදුරටත් අදහස් දැක්වූ අතර එහිදී නැගී සිටි මහින්ද සමරසිංහ මන්ත‍්‍රීවරයා පැවසුවේ තමන්ට නියමිත කතාවාරයේ දී මීට පිළිතුරක් ලබාදෙන බවයි. 

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සහභාගී කරවන කණ්ඩායමට අමතරව තමන් නියෝජනය කරමින් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් තිබේදැයි ද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළා. එවැනි කණ්ඩායමක් සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් යොදවා ගැනීමට ඇති හැකියාව ද ප‍්‍රශ්න කළ යුතු බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ. 

මෙම කණ්ඩායම සඳහා මුදල් වැය කෙරෙන්නේ කුමන ආයතනයක් යටතේදැයි ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට මුදල් වැය කෙරෙන්නේ ජනාධිපති කාර්යාලය යටතේ නම් ඒ සඳහා වෙන්කර ඇති මුදල් කපා හැරිය යුතු බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා යෝජනා කළේ.