Monday, May 20, 2024

General line - 0115112241

1000 කට අධික භට පිරිසක් සමග ඕස්ට්‍රේලියානු යුධ නැව් 4ක් ශ්‍රී ලංකාවට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / අමදෝරු අමරජිව




ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව අලුත් මට්ටමකට වර්ධනය කරමින් "ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019" වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායමක යුධ, නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් අද (23දා) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා.

ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. ඊට සමගාමීව පැරමැට්ටා සහ සක්සස් යන නෞකා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීයා.

කොළඹ වරාය වෙත මුලින්ම පැමිණි HMAS කැන්බරා නෞකාව ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සතු විශාලතම ගුවන් යානා හාරක නෞකාව වන අතර එය හෙල්කොප්ටර් අංගනයකින් ද සමන්විත විශේෂිත නෞකාවකි. මෙම නෞකාවට ආරක්ෂාව සපයමින් නිවුකාසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණියා.

කොළඹ හා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි නෞකා පිළිගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාදන කණ්ඩයම්වල ආචාරය යටතේ සිදුවූ අතර, මෙම නෞකාවලින් 1,000කට අධික ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජික පිරිසක් පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් එලැඹෙන 30දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ඊට පෙර ශ්‍රී ලංකාව සමග ආපදා සහයෝගීතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් එක්ව කටයුතු කරනු ඇති බව මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කර සිටියා.