Monday, April 29, 2024

General line - 0115112241

පරිගණක පද්ධතිය "හැක්" කර මිලියන 19ක් පාඩුවක් සිදුකළ සිසුවා සමාගමේ අයිතිකරුගෙන් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලයි

අමදෝරු අමරජීව




ජාත්‍යන්තර මට්ටමේ ශාඛා කිහිපයක් පවත්වාගෙන යමින් ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් පරිගණක මෘදුකාංග සපයන සමාගමක පරිගණක පද්ධතිට රහසිගතව ඇතුල්වි පැය පහක් තුලදි එම සමාගමට රුපියල් එක්කෝටි අනු තුන්ලක්ෂයක පාඩුවක් සිදු කොට අදාළ සමාගමේ අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලු තොරතුරු තාක්ෂණවේදය හදාරණ විශ්ව විද්‍යාල සිසුවෙකු අද (29) අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම පරිගණක පද්ධතිය හැක්කිරිම තුලින් බ්‍රිතාන්‍ය, ඉන්දියාව හා ශ්‍රි ලංකාව තුල පිහිටි සමාගම් 36කට එල්ලවු  බලපෑමෙන් මෙම අලාභය සිදුවි ඇතිබව අදාල මෘදුකාංග සමාගමේ අයිතිකරු පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන්නේ.

මෙම පරිගණක අපරාධයේ ප්‍රධාන සැකකරු අ.පො.ස (උ.පෙ) විභාගයට තොරතුරු තාක්ෂණ වේදය විෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පලමුවෙනියා වී තිබෙනවා. ඉන් පසුව ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය හදාරමින් සිට ඇත. 

සැකකරුගේ වැඩිමහල් සහෝදරයා පරිගණක මෘදුකාංග සමාගමේ සේවය කරමින් සිට ඇති අතර ඔහු විසින් සිය පරිගණකයේ රහස්‍ය වචනය තම බාල සහෝදරයාට ලබාදි  ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. මෙම සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරමින් අදාළ සමාගමේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුල්වී මෙම "හැක් කිරීම" සිදුකර තිබේ.

සැකකරු කප්පම් ලබාගැනිමට භාවිතා කල ජංගම දුරකථනය අංකය ඔස්සේ අධිකරණ නියෝගයක් මත සිදුකළ විමර්ශනයකින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව පරිගණකයේ රහස්‍ය වචනය ලබා දුන් වැඩිමහල් සහෝදරයා සහ එයට ආධාර අනුබල දුන් තවත් අයෙකුද ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.