Monday, April 29, 2024

General line - 0115112241

‘‘විදුලි අනතුරු වලක්වා ගන්න - අලුත් ප්‍රමිතියට මාරැවෙන්න‘‘ විදුලි අනතුරු වලින් වැලකී වටිනා ජීවිතය සුරක්ෂිත කරගන්න මේ ගැන දැනුවත් වෙන්න




විදුලිබල ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ අංශ නියාමනය කරමින් විදුලිය නිසා සිදුවන අනතුරු වලින් මෙරට ජනතාවට ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකරන මෙහෙය පිළිබඳව අප මීට පෙරද ඔබ දැනුවත් කළා. මෙරට විදුලි කාර්මිකයින් සඳහා බලපත්‍ර ක්‍රමයක්  හඳුන්වාදීම සහ ඒ ඔස්සේ විදුලිය නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට හැකිවන ආකාරය සමීක්ෂණ වාර්තා සහිතව අප එහිදී පැහැදිලි කළා.
 
නිරන්තරයෙන්ම විදුලිය හා සම්බන්ධ ගැටළු නිරාකරණය කරමින් මෙරට ජනතාවට සේවයක් කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිපලයක් ලෙසින් විදුලියෙන් සිදුවන අනතුරු බහුල වීමට බලපාන ප්‍රධාන හේතුවක් බවට විවිධ පේනු (plugs) සහිත විදුලි උපකරණ සහ විවිධ කෙවෙනි (sockets) භාවිතය හඳුනාගනු ලැබුවා. ඒ අනුව එහි ප්‍රථිපලයක් ලෙසින් ජාතික ප්‍රමිතියක් ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව පසුගියදා ගත් තීරණය මෙරට විදුලි අනතුරු අවම කර ගැනීමට ඉමහත් පිටුවහල් වී තිබෙනවා.

එක්සත් රාජධානිය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිංගප්පූරුව හා මැලේසියාව ඇතුළු ලොව පුරා රටවල් 29කට වැඩි ප්‍රමාණයක එකම ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීම, දැනට බහුලව භාවිත වන රවුම් කූරු සහිත 5A, 15A පේනුවලට වඩා හතරැස් කූරු සහිත 13A පේනුව එහි කෙවෙනිය සමඟ වඩාත් හොඳින් ස්පර්ශවී සම්බන්ධ වීම සහ විදුලි රැහැන් හා උපකරණවල ආරක්ෂාව සඳහා මේ විදුලි පේනුව තුළ විලායකයක් (fuse) පැවතීම යන කාරණා මත ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීම සිදුකළ බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.

කෙසේ වුවත් සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හඳුන්වා දුන් මෙම ප්‍රමිතියට අනුකූල වීමෙන් අනතුරු රැසක් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා දැනට තියෙන විදුලි පේනු සහ කෙවෙනි වල ආයු කාලය අවසන් වීමෙන් පසුව හෝ නව ජාතික ප්‍රමිතියට අදාල විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කිරීම ඉතාමත් වැදගත්.

මේ විදියට නව විදුලි පේනු සහ කෙවෙනි වලට කිසිම අපහසුතාවයකින් තොරව මාරුවෙන්න පුළුවන් ආකාරය ගැනත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ විදියට පැහැදිලි කරනවා.

‘‘15A කෙවෙනියක ආයු කාලය අවසන් වුවහොත් එහි විදුලි පරිපථය 15A අනුව සකස් කර ඇති නිසා 13A කෙවෙනියක් එයට ඍජුව සම්බන්ධ කළ හැකියි. මේ ජාතික ප්‍රමිතිය ක්‍රියාත්මක වන විට දැනට වෙළෙඳ පොළේ ඇති බහුවිධ විදුලි කෙවෙනි වෙනුවට භාවිත කිරීම සඳහා ආරක්ෂිත සංවාරක (shutters) සහිත 13A, 5A සහ 5A, 13A තනි පරිවර්තකයන් (Adaptors) වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගනීවි. එම නිසා මේ පරිවර්තකයන් (Adaptors) භාවිත කිරීමෙන් අපහසුතාවකින් තොරව හා ආරක්ෂිතව ඔබගේ 5A පේනු සහ කෙවෙනි ආයු කාලය නිමා වන තුරු භාවිත කළ හැකියි.

නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසු නිවෙසේ හා කාර්යාලයේ රැහැන් පද්ධතිය වෙනස් කළ යුතු ද නැත. නමුත් තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු ලවා පරීක්ෂා කර නිවැරැදිභාවය තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. මෙහි දී 5A පද්ධති සඳහා නිසි පරිපථ කඩන (MCD) සවි කර ඇති බව තහවුරු කර ගත යුතුයි. එසේම, වරින් වර සිදුකෙරෙන වෙනස් කිරීම්වල දී සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකුගේ උපදෙස් ගැනීම ද සුදුසු වෙනවා.

එසේම, 5A කෙවෙනි වෙනුවට 13A කෙවෙනි යෙදූ විට විදුලි පරිභෝජනයේ වෙනසක් සිදුවන්නේ නෑ. කෙවෙනිය 5A වුවද 13A වුවද විදුලි පරිභෝජනය තීරණය වන්නේ භාවිත කරන විදුලි උපකරණයේ වොට් අගය අනුවයි. දැනට 5A කෙවෙනි සඳහා රැහැන් සවි කර ඇති පද්ධතිවල 5A කෙවෙනිය අබලන් වූ පසු 13A කෙවෙනියක් සවි කිරීම සඳහා රැහැන් පද්ධතිය (wiring system) වෙනස් කළ යුතුත් නෑ. මේ සඳහා පිළියමක් ලෙස '6A MAX' ලෙස සලකුණු කළ එහෙත් 13A මුහුණත සහිත කෙවෙනියක් වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගන්නවා‘‘