Monday, April 29, 2024

General line - 0115112241

ඩුබායි සිට පිටුවහල් කරන අපරාධකරුවන් ගැන විමර්ශන වලට සහයට පොලිසියෙන් සත් පුද්ගල කමිටුවක්




ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන සිට දැනට ලංකාවට පිටුවහල් කර සිටින පුද්ගලයින් සමබන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීති කටයුතු ආදිය සමබන්ධයෙන් ආවරණය වන පරිදි මෙම කමිටුවට පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් 07 දෙනෙක් ගෙන් සමන්විතයි.

මේ වන විට ඩුබායි හි සිට පුද්ගලයින් 6 දෙනෙක් පිටුවහල් කර ඇති අතර නදිමාල් පෙරේරා සහ තවත් එක් අයෙක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනතුරුව නිදහස් කර තිබෙනවා.

අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සහ එම විමර්ශනයන් අධීක්ෂණය කිරීම සහ නීති උපදෙස් ලබාදීම මෙම සත් පුද්ගල කමිටුව විසින් සිදුකරනු ඇති.

පොලිස්පතිවරයා විසින් පත්කරනු ලැබූ එම කමිටුවේ සභාපති වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පත් කර ඇත. එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර, පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරි හේමන්ත යන නිලධාරීන්ය.