Monday, April 29, 2024

General line - 0115112241

විදුහල්පතිනියගෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය - ඌව මහඇමති තර්ජනය කළ බව කියන හඬපටයත් හමුවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට එල්ල වූ චෝදනාවෙන් පසු ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට මේ වනවිට තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා. 

ඒ, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයට කැඳවා බැණ තර්නජය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. 

දෙමෝදර ප‍්‍රාදේශීය රෝහල් භූමිය හරහා පෞද්ගලික පාරක් ලබාදීමට විරුද්ධවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම බැණ වැදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. 

ප‍්‍රධාන අමාත්‍යවරයා බැණ වදින ආකාරය එහි සිටි අයෙකු පටිගත කර ඇති අතර එම හඩපටය සොයා ගැනීමට නෙත් නිවුස් කණ්ඩායමට හැකි වුණා.

 

අදාළ ඉඩම සම්බන්ධයෙන් එහිදී ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය සහ ප‍්‍රධාන අමාත්‍යවරයා අතර තවදුරටත් සංවාදයක් ඇති වුණා. එම සංවාදය ද පහතින් දැක්වෙයි.

 


පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයට කැඳවා නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් ඉදිරියේ ඇයට බැණ තර්ජනය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසනවා. 

එම සංගමයේ ඌව පළාත් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මේ බව සඳහන් කළා.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියාසිටියේ තමා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය කාර්යාලයට කැඳවා ප‍්‍රශ්න කළ බවත් කිසිදු තර්ජනය කිරීමක් සිදු නොකල බවයි.

මේ අතර අදාළ සිද්ධිය පාදක කර ගනිමින් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය මේ වනවිටත් එම සේවාවලින් ඉවත් වී සිටිනවා. වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මෙම රෝහලෙන් අවට පුද්ගලයින් 15,000 ක් පමණ සේවය ලබාගන්නවා.