Monday, May 6, 2024

General line - 0115112241

ශරීරයට ප්‍රමාණවත් ලෙස ජලය නොලැබුණු අයෙක් අධික උණුසුම නිසා මරුට

දිනසේන රතුගමගේ




අධික උෂ්ණත්වය නිසා විජලනයට ලක් වූ පුද්ගලයෙකු ඊයේ (17) මියගොස්  තිබෙනවා.

මුලතිව් මුල්ලියාවලෙයි කෝවිල අසල පදිංචිව සිටි  ශිවප්‍රගාසම් දයානන්දන් නැමැති 51 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔහු සිය එළුවන් රැළ කැළයට රැගෙන ගොස් සුපුරුදු පරිදි විවේක ගැනීමට සාදා ඇති තාවකාලික කූඩාරමක් තුළ සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කූඩාරම තුළ මියගොස් සිටි අන්දම ප්‍රදේශයේ වැසියන් පිරිසක් දැක ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මියගිය පුද්ගලයාගේ මළසිරුර මාංචෝලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

මළසිරුර පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ අධික හිරුරැස් පතිතවීම නිසා ඇති වූ විජලනය හේතුවෙන් මොහුගේ මරණය සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයා ප්‍රමාණවත් පරිදි ජලය පානය කොට නොමැති බවද වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් හේතු දක්වමින් ප්‍රකාශ කොට තිබෙනවා.