Sunday, April 28, 2024

General line - 0115112241

ජාතික වනෝද්‍යාන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලීමක්

ලහිරු කපුගේ




ජාතික වනෝද්‍යාන තුළ කි‍්‍රයාත්මක කෙරෙන විවිධ ව්‍යාපෘතීන් සඳහා එක්වන සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් එම වනෝද්‍යානය තුළ කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක සේවය කළ සේවකයෙකු මියයාමේ සිද්ධියත් සමග එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව වඩාත් පෙනී යන බවයි. 

ආරක්ෂිත කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමෙන් වනෝද්‍යාන තුළදී සතුන්ගෙන් එල්ල වන පහරදීම් වලින් ආරක්ෂා විය හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ අදාළ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා නොතිබුණු බවයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

 

කුමන වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුමට ආසන්නයේ අදාළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වීම නිසාත්, අදාළ සේවකයින් පළපුරුදු පිරිසක් වීම නිසාත්, එවැනි අධීක්ෂණයක් සිදු කර නොමැති බවයි ඔහු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් තමන් කැඳවා ඇති වාර්තාව ලබන සඳුදා වන විට ලැබෙනු ඇති බව ද, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.