Monday, April 29, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කෙරේ - මගීන්ටත් දැනුම්දීමක්

ටී.කේ.ජී කපිල - කටුනායක




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ අද (21) පෙරවරු 10.00 සිට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ අද දින උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් වාර්තාවීමත් සමගම මෙම පියවර ගෙන ඇති බවයි.

විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පැය 04 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරනවා.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද  ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද අතිරේක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.