Monday, May 6, 2024

General line - 0115112241

දඹුල්ලෙන් ඇල්ලූ දෙදෙනාගේ තොරතුරු හෙළිවෙයි

අශෝක එරමිනිගම්මන




දඹුල්ල නගරයේ ලැගුම් හලක නවාතැන් ගෙන සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයන් දෙදෙනකු දඹුල්ල පොලිසිය මගින් ඊයේ (21) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනා කුරුණෑගල, කටුපොත  හා මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු වයස අවුරුදු 40ක් වන තිදරු පියෙක්. අනෙක් සැකකරු වයස අවුරුදු 25ක් වන දෙදෙරු පියෙක් වනවා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත දඹුල්ල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා කොළඹ සිට කාතන්කුඩි දක්වා ගමන් කිරීමට පුද්ගලික බස් රථයකින් පැමිණ දඹුල්ල නගරයෙන් බැස තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඊයේ (21) පස්වරුවේ සිට දිවයින් පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නිසා බවත් නගරයෙන් බැස ත්‍රිරෝද රථයකින් අදාල ලෑගුම් හලට ගොස් සිටි බවත් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවෙකු  මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ස්ථානයකට හානි කිරීමේ සිද්ධියට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි. අනෙක් සැකකරු අන්තවාදී මුස්ලිම් ආගමික සංවිධානයක නායකයෙකුගේ ඥාතියෙකු බවත් ඔහු කටුපොත පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවටත් හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ  ප්‍රදේශවල සැඟවෙමින් සිට විවිධ ක්‍රියාවල නිරතවී ඇති බවටයි විමර්ශන කණඩායම් සැක කරන්නේ.