Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට මුදල් ඇමති සිදුකළ ප්‍රකාශයට පිළිතුරක්




සර්ව ආගමික හෝ සර්ව ජාතික යන්න මිත්‍යාවක් බවත් ඕනෑම් රටක සංස්කෘතියන් සෑදී ඇත්තේ ආගමික හෝ ඊට පරිබාහිර දැක්මක් සහ මතවාදයන් මත බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසුරිය සදහන් කර සිටිනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (11) දින මාතරදී පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත හමුවකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.

" අමෙරිකාව, පෘතුගාලය, ඉතාලිය වැනි රටවල් කතෝලික සංස්කෘතිය මුල් කරගෙනද මැදපෙරදිග රටවල් ඉස්ලාම් සංස්කෘතියද ඉන්දියාව හින්දු සංස්කෘතියද චීනය වැනි රටවල් කොමියුනිස්ට් චින්තනය මුල්කරගත් සංස්කෘතිය අනුව හැඩ ගැසී තිබෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනය තුල සංස්කෘතිකව හැඩගැසුණු රටක් ලෙස අප පිළිගත යුතුයි.

බෞද්ධ දර්ශනය තුල ඇති සමානාත්මතාවය, කරුණාව මෙන්ම සෘජුබව හා දසරාජ ධර්මය සංස්කෘතිය තුලින් මෙරට පාලන තන්ත්‍රය මෙහෙයවූවා නම් අද ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්න ගැටුම් ආදිය ඇති නොවී ශික්ෂණයකින් හෙඹි ගුණාත්මක සමාජයක් තුල පිහිටි දේශපාලඥයින් සහ පුරවැසියන් දැකීමේ හැකියාවක් ඇති බවයි" කළමණාකරන උපදේශක ප්‍රියනාත් ජයසුරිය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

නමුත් ඊයේ දින පැවති එක්සත් ජාතික නියෝජිත හමුවේදී අමාත්‍ය මංගල සමරවීර පළකර සිටියේ මෙවන් අදහසක්, "මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නනම් කියන්න ...මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ".

මේ පිලිබදව අදහස් දක්වමින් කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසුරිය ප්‍රකාශ කර සිටියේ "රටක නොව ඕනෑම ආයතනයක වුවද පැහැදිලි දැක්මක් හා දර්ශනයක් නොමැතිනම් එම ආයතනයද සාර්ථක වන්නේ නැහැ. පවුලක ළමයින් ඉදිරියට යන්නේ දෙමාපියන් හා ගුරුවරුන්ගේ දැක්ම දර්ශනය සහ ඒ අනුව ආදර්ශයට ගන්නා ක්‍රියා අනුවයි. මේ රටේ දේශපාලඥයා මෙය තේරුම් ගන්නා තෙක් මේ රට ඉදිරියට ගෙනයා නොහැකි. හැමදෙනාගේම මතවාදයට ඉඩදීලා යන්න ගියොත් වෙන්නේ බුරුවා කරේ තියාගෙන ගිය තාත්තටයි පුතාටයි වුනදේ.

රටේ සිටින ස්වාමින් වහන්සේලාගේ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය තුල හික්මවූ ප්‍රතිපත්තියක් මත පිහිටා රට පාලනය කිරීමට දේශපාලඥයින්ට දැඩි බලපෑමක් කිරීම මිස එක් එක් පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීම නොවෙයි. මෙවැනි සංස්කෘතිමය ශක්තියක් තුලින් ජාතිවාදී ආගම්වාදී ගැටළු වලින් තොර සමානාත්මතාවය මත පදනම් වූ ශක්තිමත් රාජ්‍යයක් බිහිකල හැකි බවයි".