Monday, May 6, 2024

General line - 0115112241

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයේ දෙමළ සන්ධානයේ තීරණය තවමත් වැට උඩ

සජිත් තිලකරත්න




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ගනු ලබන ස්ථාවරය කුමක්දැයි තවමත් තීරණය කර නොමැති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසනවා. 

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පාර්ශවකරුවා වන්නේ ද ඉලංකෙයි තමිල් අරසු පක්ෂයයි. කෙසේවෙතත් සිය ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකුම මේ දිනවල විදේශගතව සිටින බවද ඒ නිසා අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවද ඔවුන් කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය එස්. ශිවමෝහන් පැවසුවේ විදේශගතව සිටින සිය ජ්‍යෙෂ්ඨ නායකයින් යළි පැමිණීමෙන් පසුව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. 

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකරුවෙකු වන ටෙලෝ සංවිධානය ඉකුත්දා ප‍්‍රකාශ කළා. සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ කෝදීෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ටෙලෝ සංවිධානය නියෝජනය කරන අයයි. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන චාල්ස් නිර්මලනාදන්ද අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කරන බව ප‍්‍රකාශ කර තිබෙනවා.