Sunday, May 5, 2024

General line - 0115112241

බස්නාහිර නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

කසුන් කැලුම්




අසාද් සාලි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් අද පත් කෙරුණා. ඔහු අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

70 හැවිරිදි ඒ ජේ එම් මුසම්මිල් මීට පෙර කටයුතු කළේ මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙසයි. 1970 වසරේදී ශිෂ්‍යයෙකුව සිටියදී එක්සත් ජාතික පක්ෂයට එක්වන ඔහු පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වය ලබාගත්තා. වසර කිහිපයක් මුස්ලිම් කොංග්‍රසය සමග එක්ව සිටි ඒ ජේ එම් මුසම්මිල් සහ තවත් පිරිසක් ඉන් ඉවත් වන්නේ 2004 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී එකමුතවේ සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනගමින්. පසුව එම සන්ධානය යටතේ 2004 වසරේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරග කරන ඒ ජේ එම් මුසම්මිල් ඉන් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වනවා.

පසුව යළි 2009 වසරේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ඔහු 2009 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරීපත් වුණා. අනතුරුව 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී ද ඒ ජේ එම් මුසම්මිල් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනද ඔහුට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට හැකියාව ලැබුණේ නැහැ. 

2011 වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග වදින ඒ ජේ එම් මුසම්මිල් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එහිදී තේරිපත් වනවා. ඔහු 2016 වසරේ මාර්තු දක්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා.