Sunday, May 5, 2024

General line - 0115112241

විදුලි සැර වැදී සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වේ




පසුගිය වසර 6ක කාලය තුලදී විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

2012 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් පුද්ගල මරණ 186ක් වාර්තා වී තිබෙනවා. 2018 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 89 දක්වා අඩු වී තිබුණා. විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල ආරක්ෂණය සඳහා ගත් පුළුල් නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව මෙලෙස අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ආදර්ශ අනුව ජනගහනයේ අනුපාතයක් ලෙස විදුලි සැර වැදීම් මරණ සිදුවීම දස ලක්ෂයකට එකක් දක්වා අඩු කළ හැකියි.  2012 දී මෙරට දස ලක්ෂයක ජනගහනයට වාර්තාව මරණ සංඛ්‍යාව 9ක් වන අතර 2018 දී එය 5ක් දක්වා අඩු වී තිබෙනවා.

2018 දත්ත අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණවලට ගොදුරු වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 83ක්.

විදුලි සැර වැදීම් මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ දකුණු පලාතෙන් (සියයට 67ක්) වන අතර අඩුම මරණ සංඛ්‍යාව සබරගමුව පළාතෙන් වාර්තා වී තිබෙනවා. 

විදුලි සැර වැදීම් මරණවලට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව ලෙස වන සතුන් දඩයමට හා වගා ආරක්ෂාවට අනවසර විදුලි රැහැන් එලීම හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව විදුලි රැහැන් අසල නොසැලකිල්ලෙන් කරන ක්‍රියා හා අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතිද විදුලි සැර වැදීම් මරණවලට හේතු වී තිබෙනවා.

 

මෙවැනි විදුලි අනතුරු බොහොමයක් ප්‍රධාන ට්‍රිප් ස්විචය භාවිතා කිරීම තුළින් වලක්වා ගැනීමේ හැකියාවද පවතිනවා.මසකට වරක්වත් ටෙස්ට් බොත්තම ඔබා ට්‍රිප් ස්විචය නිවරැදිව ක්‍රියාත්මක වන්නේ දැයි  පරීක්ෂා කර බැලිය යුතුයි.

විදුලිබල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව නීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති නිර්දේශ ගණනාවක් පසුගිය වසර කිහිපය තුළදී හදුන්වා දුන්නා. විදුලි පේනු සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම, ප්‍රධාන විදුලි රැහැන් සහ ඉදිකිරීම් අතර පැවතිය යුතු ආරක්ෂිත පරතර පිළිබද රෙගුලාසි හදුන්වාදීම සහ විදුලිකාර්මිකයින් සදහා වෘත්තීමය බලපත්‍රයක් හදුන්වාදීමට පියවර ගැනීම ආදිය ඒ අතර ප්‍රධාන වෙනවා.

(සම්පූර්ණ විස්තර පහතින්)