Sunday, May 5, 2024

General line - 0115112241

අතීත කීර්තියත් සමග ශ්‍රී ලංකාව එංගලන්තය සමග අද පිටියට

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන 6 වන තරගය ලීඞ්ස් හිදි අද පැවැත්වෙනවා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වනු ඇති. අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවනු ඇති බවටයි එරට කාලගුණික අංශ අනාවැකි පළ කර ඇත්තේ.

එංගලන්ත කණ්ඩායම විසින් ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වසරේදීයි. ඒ අනුව වසර 20කට පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන ජයක් වාර්තා කිරීමේ අරමුණින් එංගලන්ත කණ්ඩායම අද පිටියට පිවිසෙනවා. 2007, 2011 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලිහිදි එංගලන්තය සමග පැවති සෑම තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබීම විශේෂත්වයක්. 

දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක් එංගලන්ත කණ්ඩායම ජය ගත් අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 4ක් ජය ගැනීමට සමත් වුණා. සමස්තයක් ලෙස දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 74ක්. ඉන් තරග 36ක ජය එංගලන්ත කණ්ඩායම වාර්තා කළ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 35ක් ජය ගත්තා.

මේ අතර අද තරගය පැවැත්වෙන ලීඞ්ස්හි හි හීඩින්ග්ලි කී‍්‍රඩාංගණයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 5කට කී‍්‍රඩා කර තිබෙනවා. ඔවුන් ඉන් තරග 2ක් ජය ගත් අතර තරග 3ක් පරාජයට පත් වුණා. 

එම කී‍්‍රඩාංගණයේ එක්දින තරග 32කට කී‍්‍රඩා කළ සත්කාරක එංගලන්ත පිල ඉන් තරග 21ක ජය වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව සහ එංලන්තය අතර මෙම කී‍්‍රඩාංගණයේ එක්දින තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග 2 බැගින් ජය ගැනීමට දෙපිලම සමත් වුණා. 2006 වසරේදී එංගලන්ත පිලට එරෙහිව පැවති තරගයකදී ශතක වාර්තා කරමින් සනත් ජයසූරිය සහ උපුල් තරංග පළමු කඩුල්ලට ලකුණු 286ක වාර්තා ගත සබදතාවක් ගොඩනැගුවේද අද තරගය පැවැත්වීමට නියමිත ලීඞ්ස් හි හීඩින්ග්ලි කී‍්‍රඩාංගණයේදීයි.