Sunday, May 5, 2024

General line - 0115112241

එංගලන්තයේ පළමු කඩුලු දෙක බිඳ වැටේ (UPDATE)

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරගය ලීඩිස්හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 232ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2ක බිද වැටුනේ ලකුණු 3ක් තුළයි.

ළහිරු තිරිමාන්න වෙනුවට අද තරගයට කැදවූ අවිශ්ක ප්‍රනාන්දු ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගනිමින් ලකුණු 49 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය ඇන්ජලෝ මැතිවුස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 85ක්. කුසල් මෙන්ඩිස් ලකුනු 46ක් රැස් කළා. මිලින්ද සිරිවර්ධන වෙනුවට අද තරගයට කැදවූ ජීවන් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා.

ධනංජය සිල්වා ලකුණු 29යි.  තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටින තිසර පෙරේරාගෙන් සහ ඉසුරු උදානගෙන් අද තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයෙන් සාධාරණයක් ඉටුවූයේ නැහැ. තිසර පෙරේරා ලකුණු 2ත් ඉසුරු උදාන ලකුණු 6ත් දැවී ගියා.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 7.4ක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 26ක් ලබා ගෙන සිටියා.

.........................................................

ශ්‍රී ලංකා පිලෙන් අසාර්ථක ආරම්භයක්

(21-06-2019 16:06)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර තරගය ලීඞ්ස්හිදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 62ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2ක ලකුනු 3ක් තුළ බිද හෙලීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා අද තරගයේදී රැස්කර ගත්තේ ලකුණු 2ක් පමණයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49කට දැවී ගියා.

......................................................

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී - මිලින්ද සහ තිරිමාන්න ඉවතට

(21-06-2019 15:18)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී  ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරගය ලීඞ්ස්හිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක් සමගින්. ළහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන වෙනුවට අද තරගය සදහා අවිශ්ක ප්‍රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් කැදවා තිබෙනවා. එංගලන්ත කණ්ඩායම අද තරගයට එක්වන්නේ කිසිදු වෙනසකින් තොරවයි. අද තරගයේ තණතීරුව පිතිකරුවන්ට උචිත එකක් බවයි වාර්තා වන්නේ.

1999 වසරෙන් පසු ශ්‍රී ලංකාවට  එරෙහිව ලෝක කුසලාන තරග ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම මෙතෙක් සමත්කම් දක්වා නැහැ.